"බිමට වට සිත" ලස්සන, සුවඳ මල් පිපුණ කලු කෙල්ලෙකුගේ හදවත
එරන්දි - මට හමුවුනේ පේස්බුකියෙන්. එයා අහම්බෙන් හම්බුන යාලුවෙක්. එයා ලියන කවි මට නොකියවා ඉන්න බැරි වුනා. ඒව ආදරය ගැන වුනත් වෙනත් බොහෝ දේවල් ගෑවෙමින් නොගෑවෙමින් ලියැවුණු කවි. එරන්දිට මම මුල ඉඳලම කිව්වෙ කලු කෙල්ල. එරදන්දිගෙ කවි නැති වුනාම මම අහනව ඇයි කියල. තාමත් කුමාරය ජනේලයෙන් කාමරයට එනවද කියල.
කවිපොත- "අය්යෙ. මම කවි පොතක් ලිව්වා. " එරන්දි කිව්ව. ඒ ගැන අහපු දවසේ ඉඳල පොත කියවන්න ආසාවෙන් හිටියෙ. "එරන්දි, කලු කෙල්ල, අද පොත හම්බුනා. මේ ඒ පොත මට දැනෙන හැටි."
පෙරවදන - ඒක ආවර්ජනාවක්. ඒත් ගද්‍යමය කවි මල්ලක්. මුලු පොතමත් පෙරවදනත් එක සමාන එකක්. මේ බලන්න.
" සුසානයක් වූ හද මත කැලෑ රෝස, වද, අරලියා, බෝඹු ආදී මල් පිපේ. ඒ නිසාවෙන් කෙලින් කටින් සිටිය නොහැකි මොහොතක වුව ආත්මය පුරා සුවඳ විහිදේ."
ආත්මය - ඔබේ ශරීරයට ගැහැනු , පිරිමි හෝ නපුංසක විය හැකියි. ඒත් ආත්මය. එය හුදු පැවැත්මක්. ඒකට ලිංග භේදයක් නැ. එරන්දිගෙ සුසාන හදවතේ පාට පාට නෙක විසිතුර් මල් පිපීම නොනවතින්නක්.
ඇය - "හිත පුරා පිපෙන කැලෑ රෝස සහ වද මල් ප්‍රමුඛ මල් කාණ්ඩයන්ට ඉත සිතින් පිබිදෙන්න ඉඩ හරිමි." යයි පවසයි. ඒ එකක්වත් ඔබ අධික මුදලක් ගෙවා මහන්සියෙන් වතුර පෝර දමමින් රැකගන්න දරන මල් නොවෙයි. වෑත්තෑවේ හිමියන් "වනපස මලින් පුද - කලැයි පවසනු කවර වරදද" යනුවෙන් අසන්නේද මේ කවි මල් ගැනම නොවේ ද?
සියුම් මිනිසෙක් - පස්වෙනි කවිය පුරා දිවයන මේ සියුම් මිනිසා කවරෙක්ද?
"ඔහු පතුල නොපෙනෙන ගැඹුරු මුහුදක්
අතින් ඇල්ලිය නොහැකි සුළඟක්
ආත්මය මත අඩි තබා ගොස්
මා මතම සැඟවෙන සියුම් මිනිසෙක්"
ඇල්ලිය හැකි සුලං ඇතැයි සිතන්නට අපට ආරාධනා කරනවද?
විදුලි පුවත - මීට වැඩිය හොඳ විදුලි පුවතක් ඔබ වෙත ලදොත් මාහට කියන්න. මෙය කියවන ඔබෙන් මල වෙන දෙයක් ඉල්ලා සිටිය නොහැකියි.
"ලොකු අය්යෙ
වසන්තයේ යතුර
මා අතින් නැති වුණා
ඔයා වෙන ජීවිතේකට ගොඩ වෙන්න!"
මේ වසන්තයේ යතුර කුමක් වෙන්න පුලුවන්ද? ලොකු අයියා කවුද? ඇගේ පෙම්වතා විය නොහැකි. කුඩා කල සිට ඈ මතම බලාපොරොත්තු ගොඩ ගසපු අයියාට වෙන ජිවිතයකට ගොඩවන්න සිදුවන්නේ ඇය ඔහුගේ සිහින පාට නොකල හෙයින් විය හැකියි. අපට පාට කරන්නට ඇත්තේ සෑම විටම අනුන් වෙනුවෙන් අනුන්ගේ හීන. ඒත් මේ තමන්ගේ හින හරියට පාට නොගෑ හෙයින්අනුන්ගේ හිනද කැත වන බව කියන්නක්.
අපිට තිබුනා හිතන්නට- මේ මම ආසම ඇගේ කවි රිද්මය. ඒව හරිම ගණිතමය ප්‍රකාශන. ඒත් කාව්‍යමය ගුණ පිරුණු. නැවත නැවත කියවන විට නවතම අරුත් මතුවන.
"ප්‍රේමයේ ආසන්න දශමස්ථානයට
මේ බැඳීම වටයන්න පෙරාතුව
අපිට තිබුණා හිතන්නට
තව ඇබින්දක් දුරට
ස්වර පරාස අස්ථාවර නොකර
ප්‍රේමයේ ගීතය ගයවාමයි හිතුවට
ස්ථායි කොටස් ගැයෙන්නෙම
අස්ථායී විදියට"
මට අදත් සිතෙන්නේ අපට තව ඇබින්දක් හිතන්නට තිබුන බව. දැනුදු අප ස්ථායී කොටස් අස්ථායිව වයමින්.
කිවිඳිය අපට අපවම දෙස නැවත බලන්නට ප්‍රෙම ගීයේ තාල අල්ලන්නට ආරාධනා කරනවා.
ගැහැනියකට පුලුවන් - ඇත්තටම ගැහැනියකට බැරි මොනවද? ඇය පුලුවන් දේවල් ගැන මෙහෙම ලියනවා. ඒව කවි නෙමෙයි. බර අවි.
"ගිගිරුම් සහිත වැසි වැටෙන හවසක
ඉපැරනි පෙම්වතුන්ගේ මතක
කඩදහි බෝට්ටුවල පා කර යවන්නත්
වැහි පොදේ තෙමෙමින්
නැවුම් වෙන්නත්
ගෑනුන්ට පුලුවන්
..............
ජීවිතය දෙපස පිරි වල් පැළ මඩින්නත්
ඒ දෙපසේ මල් වැටක් තනන්නත්
ගෑනුන්ට පුලුවන්."
එරන්දි - ඔයා මේ කවිමල්වලින් කල වැට ඉතාම අගෙයි. ඒ වැටේ මල් සිඹින්මින්ද අතගාමින්ද මටත් එවැනි මල් වැටක් ඇත්නම් මැනැවැයි ද මට සිතෙයි.