Pramoedya Anantha Toer's PERBURUAN


Pramodya Ananta Toer’s Perburuan කෘතියේ සිංහල පරිවර්තනය, පී.ජී. පුංචි හේවා 2002 වර්ෂයේ අපට හිමි කර දුන් වටිනා ත්‍යාගයක්. එහි සිංහල නම “පලා යන්නා”. මෙය ප්‍රමෝද්‍යා ආනන්තගේ සාහිත්‍ය ජීවිතයේ පළවෙනිම නිර්මාණය. ඒත් ඒක කියවන විට අපිට කිසිම විටක දැනෙන්නෙ නෑ එහෙම වගක්. එය එතරම් රසවත්. හරවත්. අධිරාජ්‍යවාදය නිසා යටත් මිනිසුන් විඳවන අයුරුත්, ඒ අස්සේ වුවද ප්‍රේම‍ය සිය ස්වරූපය වෙනස් නොකර කැපකිරීම් කරන අයුරුත් මෙයින් මොනවට පෙන්වනවා.
හර්දෝ නම් තරුණ සටන්කාමියෙකු වටා ගෙතෙන මෙය එක පසකින් අධිරාජ්‍ය විරෝධී කැරලි කරුවෙකුගේ ජීවිතය ගෙන හැර පායි. තව පැත්තකින් ඔහුගේ හද තැන්පත්ව සිටි ගැහැනියක පිළිබඳ සෙනහසක ප්‍රබලත්වය පෙන්වයි. ඒ සෑම දෙයම ‍පසෙක මිනිසාට වෙනස් කළ නොහැකි යම් යම් දෛවීය සන්ධිස්ථාන හමුවේ විඳදාරා ගැනීම හෝ බලා සිටීම හෝ හැරෙන්නට වෙන කළ හැකි දෙයක් නැති බව පසක් කරයි.
හිඟන්නෙකුගේ වේශයෙන් හැසිරෙන හර්දෝ ජපන් අධිරාජ්‍ය යටත් රටක් වූ ඉන්දුනීසියාවේ එවක පැවති අඳුරු යුගයේ වද වේදනාවලින් ගැලවීමට විප්ලව කරයි. ඔහුගේ සහචරයන් හා එකතුව සැඟව සටන් වදී. එහෙත් තමන්ගේම අයගේ පාවාදීම් නිසා මානුෂීය පෙළඹීම් ලෙස ඉවසීමට සිදුවෙයි.
කෘතියේ දෙවන පරිච්ඡේදය වඩාත් ප්‍රබල එකක්. එහිදී හර්දෝ සිය පියා හමුවේ ඔහුගේ රදල මෝඩකම් හා කුහකකම් විවේචනය කරනුත් පියෙක් පුතෙක් වෙනුවෙන් සෝක වන අයුරුත් නිරූපණය කරනවා. ඒ වගේම රචකයාට කීමට අවැසි බොහෝ දේවල් එලියට ගෙනත් නිරුවත් කරනවා.
“ කිසිම මිනිහෙක් සියයට සියයක් හරි සිහි බුද්ධියෙන් නැහැ. කවුරුවත් සියයට සියයක් නිදහසුත් නැ. ලෝකෙ කිසිම දෙයක සියයට සියයක් නැහැ. ඒම හිතනවානම් ඒක මායාවක්.” 58
ඒ වගේම ඊ ළඟ පරිච්ඡේදයේදී ආදරය ගැන හර්දෝ කරන කෙටි සටහන අපේ ජීවිතයේ හරස්කඩක් වගේම මේ පොතෙන් එලියට දාන්න හදන විස්තර කළ නොහැකි අදහස්වල සාරය කියලත් පෙන්වා දෙන්න පුලුවන්.
“මේ අහපන්.” හර්දෝ සැරෙන් කීය. “බොළඳ ද නැද්ද කියන එක උඹේ වැඩක්. ඒ වුණාට ජීවතේ වැදගත් දෙයක් ආදරය.”
ඇත්තටම ඒක එහෙම තමයි. ජීවිතේ බොළඳ වගේම හරවත්ම දේවල් හැම දේකම සුසංයෝගයක්.  ඒ ඒ වෙලාවට දෝලනය වන හැඟීම් භාවාත්මක වගේම භාවාත්මක දේවල් ගැන තාර්කික මේහෙයවීම් වලින් සුසංයෝග වෙලා. හරිම සංකීර්ණයි.
ඉතිං මේ කතාවෙ අවසානයේදී ජපන් අධිරාජ්‍ය පරාදවෙලා හර්දෝ දිනුවත් එයාට එයාගෙ ඉදිරිපිටදි ම පෙම්වතිය නින්ග්සිහ් වෙඩිවැදිල මියැදෙනව. ඒක හරිම වේදනාකාරී රූප රාමුවක්. ප්‍රෙක්ෂකයෙක් වෙන පාඨකයා ඛේදජනක අක්දැකීම හමුවේ රටක නිදහස ගැන මෙන්ම හදවතක මියෙදෙන ආදරයක හා උණුසුම් සුසුම් හා එක්වෙනවා.

No comments: