Saturday, November 12, 2022

ජීවිතයේ අහඹු නැවතුම් සලකුනු කුරන 'සුලු තනිතිත'


 ජයතිලක කම්මැල්ලවීර. කිව්වම අපිට මතක් වෙන්නේ මහා සාහිත්‍යකරුවෙක්. එපමනයි. කැලරන්ස් කිව්වම අපට මතක් වුනේ ගායකයෙක්. හැබැයි 'ක්ලැරා' කියෙව්වම අපි දැන ගත්තා එයා හුදෙක් ගායකයෙක් පමනක් නොවන බව.

'සුලු තනිතිත' ජයතිලක කම්මැල්ලවීර ස්වයං චරිතාපදනාය. ඒක කියෙව්වම දැනුනෙ මේක මම මගේ අද්දැකීම් නිසාම තේරුම් ගන්නවා මිසක් කිසිවෙක් මේ කතාව ඇත්ත එකක් කියල තේරුම් නොගනීවි කියල. බුදුව මේ ධර්මය කවුරුන් තේරුම් ගනිවිදැයි සීතීම අරුමයක්ද?

මේක කියවන්න අපහසු කතාවක්. එබට කියවන්නම ඕන නම් 56 පිටුවෙ ඉඳල කියවන්න කියල මම ආරාධනා කරනවා. ඔහුගේ ලමාකාලය ගැන ඇති කොටස ඔබ කොහොමවත් පිලිගන්න කතාවක් නෙමෙයි. කතුවරයා මේ සියල්ල සත්‍යම බවට දිවුරා කියද්දිත් මට හිතාගන්න බැහැ මෙහෙම ලමා කාලයක් උරුම කෙනෙක් ලෝකයට මේ තරම් අසීමිතව ප්‍රේම කරන්න පුරුදු වුනේ කොහොමද කියල.

ලමා කාලය ගැනත් ප්‍රේමය ගැනත් ඔහුගේ මතක කෘතිය පුරා යම්තමිනුත් ගැඹුරිනුත් කියනවා. ඒ අතර ම වාමාංශ දේශපාලනයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෙකු ලෙස ඔහු ගෙවූ ජීවිතයත් ඔහු නොකියා කියන යකඩ හිතක් ඇති ගැහැනියක පිලිබඳවත් මේ කතාව පුරාම වේදනා රේඛාවක් ඇඳෙනවා. 

නදිකම්මැල්ලවීර ගැන ගැන කියන කොටසෙදි ඔහු නිර්මානය කල කවිය තාත්තා කෙනෙකුට මීට වැඩිය හොඳට කියන්න බැහැ. මගේ දුව ගැන සැරින් සැරේ මතක් වෙන බවත් සුසුමින් හද බර වන බවත් නොකියා ඉන්නෙ කොහොමද? පොතේ අවසානෙට ආවත් මේ කවිය මුලින් නොකියා ඉන්න බැහැ.

"මිදුලේ වැලිබත් උයන

මගේ පොඩි දූ 

හදිසියේ යමක් මතක් වී

දිව එයි ලෙඩ ඇඳේ සිටින මා වෙත

ඇවිත් ළං වී විමසයි
'ඔයාට තනි නෑ නේද තාත්තේ?'

දිව යයි යළිත් 

මිදුලේ සෙල්ලම් ගෙයට

නැවතත් මෙහොතකින් 

දිව අවුත් මා වෙත

විමසයි

'ඔයාට තනි නෑ නේද තාත්තේ?

චුට්ටක්වත් තනි නෑ නේද තාත්තේ?'

මිදුලේ සිට මා වෙත 

දිව ආ හැකිය මොහොතකින් අද

එහෙත්

අනාගතේ යම් දවසක

කොතැනක හෝ දුර බැහැරක

දරු පැටවුන් සමග

ජිවිතේ ගැට ගසා ගන්නට

දත විකා බර අදින විට

වහා දිව එනු නොහැකිව මා වෙත

දුකෙන් විමසනු ඇත සිතෙන්

'ඔයාට තනි නෑ නේද තාත්තේ?

චුට්ටක්වත් තනි නෑ නේද තාත්තේ?"

නදී, මේක බැලුවහම ඔයාට මොනවද හිතෙන්නෙ කියල මට දැන ගන්න තිබුන නම් කියල මට හිතුන. ඒත් ඒක නොකියා ඉන්න එක ගැන ඔයාට ස්තුති වන්ත වෙනවා. මගෙ දු ගැන මට ඇති බොලඳ හා සිනහා කැටිවුන අද්දැකීම් මීට දශමයකවත් වෙනසක් නැ. 

කතුවරයා තමා මොනතරම් දේශපාලන පරිනත අයෙකු වුවත් ජාතික ජනබලවේගයට දැන් තමාගේ සම්බන්ධය ගැන කියනවා. ඒ වගේම වාමවාදී දේශපාලනයෙන් ආ වාසු වැනි කෙනෙකු දැන් වැටී ඇති පහත් තත්වය ගැනත් සිහිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔහු තරුන කල කල කැප කිරීම් ගැනද අඩුවක් නැතිව කියන ගමන්. ඒ වගේම මහින්ද රාජපක්ෂ නැමති පිලිලය විනාස නොකොලොත් මේ රටට වන දේ ගැන ඔහු ලියූ ලිපිය ඔහුගේ පරිනත බව කෙතරම්දැයි අපට පෙන්වා දෙනවා. ඔහු මේ ලිපිය ලියා ඇත්තේ 2015 ජූලි මස 12හ.
"මහින්ද රාජපක්ෂ පිළිලය හට ගෙන එය ක්‍රමයෙන් වැඩෙන බව දුටු විට එය කපා ඉවත් කළ යුතු ව තිබුණි. එහෙත් එය එසේ නොවීමෙන් සිදු වූයේ එය වෘක්ෂය වටා පැතිරීමයි. දැන් ගස මැරී යාමට නියමිතව තිබේ. කොතරම් කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් පෑවද මෙ ඉරණමෙන් ගස බේරා ගත නොහැකිය. ... හටගත් පිළිලය විසින් එහි විනාශය ළඟා කර දෙනු ලැබ ඇත."

'තනිතිත' කියන්නෙ එම පක්ෂයේ විනාශය ගැන වුවත් ඔහුත් ඔහුගේ සහෝදරයනුත් ප්‍රමුඛ සගයන් මේ රටට සිදු කලේද එයයි. අදටත් අප මේ පිලිලය ලක්රුකේ යුෂ උරා බොමින්  විනාශයට පමුනුවමින් සිටී.
අද සමාජවාදය හාස්‍යයටත් උපහාසයටත් පත්කරන පලමු පෙලේ නායකයෙකු ඇත් නම් වාසු දේවට ඒ තැන හිමි වෙයි. එහෙත් වාසුදේවගේ දේශපාලනික මැදිහත් වීම් ඉතිහාසයේ දී කෙසේ දැයි දක්වන 'තනිතිත' වාසුගේ දැන් තත්වය ගැන පවසන්නේ මිනිසකු තමන්ගේම ප්‍රතිපක්ෂය වීම සිදුවන ආකාරය පෙන්වා දෙමින්.

"වාසු අද දේශපාලන ප්‍රතිපත්ති අතින් පවුල්වාදය දක්වා අන්තයට පිරිහුණ දේශපාලනයට දරදිය අදින්නෙකු බවට පත්වී සිටින අතර" (172පිට)

'තනිතිත' සමාජවාදය දකින්නේ අමුතු ආකාරයකටය. ඒ සමාජවාදය නොවේ. අසීමිත මානව ප්‍රේමයයි. ලෝකය පිලිබඳ අසීමිත සෙනෙහසයි. මේ අදහස කියවන්න.
"මම කොන්දේසි විරහිතව මිනිස් නිදහස අපේක්ෂා කළෙමි. සමාජ සමානත්වය සේ ම ස්ත්‍රී පුරුෂ සමානත්වයද අගය කළෙමි. .... ජනප්‍රිය මාක්ස්වාදයේ එන පන්ති බෙදීම අනුව මිනිසුන් හඳුනාගත නොහැකි බවත් මිනිස් සිත ඒ පන්ති සීමාවන්ගෙන් ඔබ්බේ පවතින සංකීර්ණ වස්තුවක් බවත් හඳුනා ගන්නා අයෙකු වන මගේ සාහිත්‍ය භාවිතයේ පදනම වන්නේද එයයි." (188පිට)

ඔහුගේ ජීවිතය ගැන දැන ගැනීමට මේ පැහැදිලි කිරීමම මදි නොවේද? 

"ඉතිං මම තෘපිතිමත් මිනිහෙක්. 
ඇත්තටම සැබැවින්ම තෘප්තිමත් මිනිහෙක්"

මේ කෘතිය අවසන 'තනිතිත' තබන සටහන. ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය ගැනද තව ලියවේවි. එතකල් මේ තෘප්තිමත් මිනිසාද ඔහුගේ අපේක්ෂාව ද සපල වෙන තුරු බලා හිඳුමු. සුබ දිගු දිවියකට ඔබට සුබ පැතුම් එක්කරමින් නවතිනවා. ජය!


No comments: