ලියනගේ අමරකීර්ති එකමත් එක පිට රටක සිට

අමර කවි
යම්  සාහිත්‍ය නිර්මානයක් ස්වර්න සම්මාන හිමි කර ගන්නේ පාඨක සතන් තුල සදා කල් පිය සෙනෙහෙ මෙන් ඇට ඇට මිදුලු තුල කිමිදීමෙන්. එවන් පොතක් වැඩි ප්‍රසිද්ධියක් නොලැබීම පාඨකයන්ට කරන බලවත් අසාධාරනයක්. එබඳු ආසාධාරනයක් කෙරූවෙක් තමයි ලියනගේ අමර කීර්ති කවියා. ඔහු තම “එකමත් එක පිටරටක” කෘතිය කර්තෘ ප්‍රකාශනයක් ලෙස එලි දැක්වීම මහද රිදවූ කරුනක්. එහෙත් අමරේගේ අමර වැඩ ගැන ලියන්න ඒක බාධාවක් කර ගැනීම එතරම් හොඳ දෙයක් නොවන නිසා මෙය ලියන්න පටන් ගත්තේ. ඇත්තටම ඒවා අමරනීයව පාඨක හද ප්‍රකම්පනය කරනවා යැයි ඔබම කියවා අවබෝධ කල යුත්තක්. මේ මට හිතෙන හැටි. මම දකින හැටි.
කවිය බොහෝවිට වචන දහසකින් කිව යුත්තක් කෙටියෙන් සියුම්ව ලේඛනය කරයි. අමරකීර්ති කවියාද සිය කෘතිය එබඳු සියුම් රේඛා මගින් මනාව හැඩ වැඩ ගන්වා පාට කරල. ඒ පාට තුළින් සමාජයේ ජීවිතයේ සියුම් තැන් ඉතා භාවාත්මකවත්, විචාරාත්මකවත් විනිවිද ගිහිල්ල. මේ කවි පොත ගැන ලියන්න කිහිප විඩක්ම මම උත්සහ කලා. ඒත් කොහොම ලියන්නද, කොහොම පටන් ගන්නද කියල තියෙන දෙගිඩියාව හිත හොල්මන් කලා. ඒකට හේතුව ඒ කවි, කියවන හැම විටම නිපදවන අලුත් අරුත් සහිත වීම. එනිසා මෙම රස වින්දනයද කෘතිය තමා මගින් නිපදවන ලද අලුත් අරුත් විසින් යම් යම් බාධක සහිතව ලියාගෙන යාමට දරන ලද තැටමීමේ ප්‍රතිඵලයක්.
විවිධ සංස්කෘතික, දේශපාලනික අවුල් වියවුල් හමුවේ නූතන මානව ජීවීන් විඳින විඳවන සංකීර්න ධර්මතා හොඳ නරක, පවු පිං කියල වෙන් කරන්න අමාරුයි. අමරකීර්ති ඒ  බව සියුම්ව තම නිර්මාන හරහා සමාජ ගත කරනව. ඔහු සිය සහෝදර ජනතාව වෙත හෙලන්නේ මානවවාදි, හෘදයාංගම දෘෂ්ටියක්. කවියගේ විශිශ්ට දක්ශතාව එයයි. අමර කීර්ති කවියාගේ කෘතියෙහි පලමු කව ‘අතින් ගත් පොත්’හි එන පහත වැකි තුන ඔහුගේ මුලු කාව්‍ය සංග්‍රහය පුරාම දිව යන සියල්ලේ සියුම් තේමාව බව අපගේ හැඟීම.
“එහෙත් සුහදිනි එය
කවියක් කරන රිදුමකි
අරුතක් සහිත විඳුමකි”

“දිලින්දෝ ආශිර්වාද ලද්දෝය.” මෙය හෑබෑම කියමනක් වෙන්නෙ මමත් එහෙම නිසාම පමනක් නොවෙයි. ජීවිතේ අලුත් දේවල් දකින්න, විඳින්න දිලිඳු ආර්ථිකයක් හා සුපොහොසත් හදවතක් තිබීම මිල කල නොහැක්කක් නිසයි. “වස්තුව මම” කවිය මේ දිළිඳු බවත් ඒ හා මුසුවුන කාන්තාවක වීමේ ආදීනවයත් පිලිබඳ ප්‍රකම්පිත වදන් වැලක්. ඔහුගේ කෘතියෙහි වඩාත් සරලවම ලියවුනු රසවත්ම කව මේක තමයි මට. ඒ පුරා දිවෙන ශෝකී රාවය දෙදරවයි හදවත්. ගෙදර අඩු පාඩුකම් පිරිමහන කෙල්ලක් තමා ගැන හිතන හැටි. අපූරුයි. දුකයි. තෙරපවයි හදවත.
“මට ආයෙත් හිතුන
දුප්පත් වෙන එකත්
කෙල්ලෙක් වෙන එකත්
මහ කරුමයක් කියල

ඇත්තටම දුප්පත් රටක, දුප්පත් ගෙදරක, කෙල්ලක් වෙන එක. කරුමයක් තමයි. පිරිමි විදිහට හිතන ගෑනු ඉන්නරටක. කවියා ‘අරුන්දතී’ නමින් ලියන පැදිය එහෙවු රටේ පිරිමි බහුතරයකගෙ මානසිකත්වයට එල්ල කරන්නෙ වෙඩි උංඩයක් අපිට දරාගන්න අමාරු. අපි එහෙමද?
පිරිමි රංචුවක් වෙමු අපි
අදහන පුරුෂ ලිංගය
න්‍යායද විද්‍යාවද
දේශපාලනයද ඒකම වුන
කම් දුවක හෝ දෙව් දුවක මිස
ගැහැනියක දකිනු අසමත්
විඳින්නේ නැත්නම්
වඳින්නන් ලෙස මිස
ගැහැනිය දකිනු අසමත්.”

දුප්පත් දැරිය කඩේ ගිය විට කඩේ නිමල්ගේ ඇහැට රසඳුනක් වෙනවා පමනක් නොව ඔහුගේ ආදරනීය(කෲර) ස්පර්ශයටද ඇය ලක්වෙයි.
“තනේ මිරිකුව බව
මං කියන් නෑ පද්මක්කට
අපේ අම්මට හෝ අයියට”
කඩෙන් බඩු ගන්න දැනුවත්ව හෝ නොදැනුවත්ම මුදල් වන ඇය ගෙදර වස්තුව. පියා නැති ගෙදරක මේ වස්තුව ගැහැනියක හුදු භාන්ඩයක් වීම පිලිබඳ රූපකයක්.
“අපේ ගෙදර වස්තුව
ඒ නිසයි තාත්තා
දුන්නෙ මට ඒ නම
දෙව්ලොව යන්න ඉස්සර”

යුද්ධ කරන සතුරාට පවා ප්‍රේම කිරීමට, කරුණාව දැක්වීමට උගන්වන ආගමක් තමයි බුදු දහම. ඒ වුනත් පහුගිය වකවානුවේ ලංකාවේ සිද්ද වුන සමහරක් පුද පූජා හා අරුත් නිරුත් දැක්වීම්වලට කවර නම් ආගමික අර්ථ කථනයන් සපයන්න පුලුවන් වෙයිද? මේ දෙස මධ්‍යස්ථ වන අප කවියා අප හද අනින, රිදවන සිදුවීම් කවි කටු හුල් කර ඇති අන්දම වෙඩිල්ලක තියුණු රිදවුමත්, මරනයේ ඛේදජනක ශේශයනුත් අප හද තුල ජනිත කරයි. ‘එකමත් එක පිටරටක’ කව මේ තියුනු වියරු බව යුද්ධයේ සැහැසි බව මිනිසත් බව යටපත් කොට නැගී සිටින බව පසක් කරවයි. වර්ගය, ජාතිය, භාෂාව යටින් දිවෙන පොදු මානුශීය ගතිය ලමා ඇසින් දකිමින් කවියා වැඩිහිටි සංස්කෘතික කබායන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටිනව.
“කියන්නද මා පුතුට කදීර් මාමගේ මරනය
මොකටද දෙන්නෙ ඔහුටත්
මා විඳින ලංකා දුක?
නැත. මම මතක් කර කියමි
යම් යහපත් දෙයක්
ලංකාව, දෙමල, සිංහල ගැන
නිදපු දෙන් ඔහු සතුටින්
එකමත් එක පිටරටක”

මුලු සමාජයම දේශපාලනීකෘත සුකර සූකර පරිභෝජනවාදය හමුවේ විද්‍යමාන කරන ලක්ෂන කවියා සිය කව් අකුරු තුල ගැබ් කරයි. රන්දවයි. දවටයි. පරිසරය විනාශව, ස්වාභාවික විපත් අතර දුක්විඳින දේශපාලන අසරන සත්වයන් කෙරෙහි වෛරයකට වඩා විචාරාත්මක භාවනාවක පාඨකයා රඳවා තබමින් සහෘද මනසක භාවාත්මක කරයි. ‘ධනාත්මක තරුනයෙක්’ නමින් එන කව මෙම අක්මුල් සිඳගත් සමාජ ක්‍රමය විසින් අරුත් ගන්වන ලද ජීවිතවල අරුත් සුන්, නීරස විඩාබර එහෙත් සාටෝපවත් උත්කර්ෂිත බව පෙන්නනවා. සිංහල වචන ටිකක් මැද රිංගවපු ඉංගිරිසි වදන් කෝෂය ආසියාතිකයන්ගේ මිශ්‍ර ආසියා-යුරෝපීය සංස්කෘතිය පෙන්වාලන්නක්. මේ මිශ්‍රිත බව අරුත් විසින් ගැඹුරක් දනවන්නක් වුවත් යුරෝපීය විරෝධී සංස්කෘතික සාඩම්බර බව විසින් විකාර කරන ලද්දක් වීම නිසා විකාර රූපී වූවක්. එහි එන අක්කා වැඩ කරන තැන කියන වැකි කිහිපය යට කියන කාරණා කවියා දකිනයුරු පෙන්වයි.
“නිකං කොලඹ නෙමෙයි කලම්බු සෙවන්
අක්ක තමයි
සිංහල ඉංග්ලිශ් ඔක්කොම
කම්පියුටර් ගහන්නෙ
පුලුවන අක්කට අපිටත් වඩා ඉංග්ලිශ්”

සංවේදී හදැත්තෙකුට කවියක් කරන රිදුම සුලුපටු එකක් නොවෙයි. කවිය මගින් උපදවන අරුත් හා සංවේදනා රෑ නින්ද අහිමි කරන අතරම ඔහුව භාවාත්මක මරන මංචකයක හොවා දමයි. ලෝකය වෙනස් කිරීමේ විභවාත්මක ශක්තීන් කවියකින්, රචනාවකින් ඉස්මතු කිරීමත්, අවදි කිරීමත්, සිදු කරන්නේ මෙකී රිදිවීම් හරහා. මිනිසත් බව අහිමිව උඩගඟු වූ මිනිසුන් ගැන කියන ‘මේ නියං කාලේ’ පැදිය මේ අසංවේදී බව ගැන කරන සරදමක්.
“ අපි කාවවත් සිප ගන්නෙ නෑ
ඉව කරනවා විතරයි
‘උං ඉඹින්න ලැජ්ජ නැද්ද?’
වැස්සත් නැතුව යන්නෙ ඒකයි.”
“අපි කාවවත් තේරුම් ගන්නෙ නෑ
කවුරුත් මරල දානව විතරයි
‘ද්‍රෝහියෝ, හතුරෝ’
වැහි නැති හෙන වදින්නෙ ඒකයි”

එහෙත් මිනිසුන් ලෙස මිනිස් කම, මිතුරු බව අපට ලබා දෙන මිහිරියාව කෙතරම්ද? යහලුවකුගේ හදවත යහලුවෙකු වෙත බඳින අයුරුත් තම යහළුවාගේ වදන් ම තම බිරිඳටත් තෙපලූ බව යහලුවාගැන අමරණීය මතකයක යෙදෙන කවිය පවසයි.
“සිරි යහන උනුසුමින් ප්‍රමෝදිත සැම විටක
මිත්‍රයෙක් මට ඉඳියි තමා හද ඇතුල් ගැබ
සිහින වරඟන රැගෙන තනිව යහනේ නිදන
නංගිලගෙ දරුවන්ට කැවිලි ගෙන ගමේ යන
මිත්‍රයා නුඹ තමයි මිහිරි කලෙ මගෙ යහන
එමතු නොව මගෙ දිරිය
මිත්‍රයා ඇයි නුඹම දවන්නේ ඒ යහන
එමතු නොව හදවතම”
අමර කීර්ති කවියාගේ අසාධාරන කාව්‍ය කෘතිය මා හද පෙලූ අයුරු අවසන් කරන්නට දෙන්න මට පහත උපුටනයෙන්.
“මිත්‍රය අපි මේ සෙල්ලම දැන්වත් නතර කරමු
අපි අපිම බව නොපෙන්නීම නවත්තමු.
අපි අපිම වෙමු.”

No comments: