Monday, October 26, 2015

කුස්සි- සිංහල

සරච්චන්ද්‍ර එදිරිවීර ලියපු පිං ඇති සරසවි වරමක් දෙන්නේ පොත කියවන්න කියවන්න ආස හිතෙන පොතක්. ඒක එතුමාගේ පුද්ගලික ජීවිතය විතරක් නෙමෙයි. නිදහස ලබාගන්න ආසන්න හා ලබාගෙන ආසන්න කාල පරාසය තුල ලාංකික ජනවිඥානය සොයා යාමටත් උදව් කරනව.


ඒ කාලෙ සිංහල භාශාවට හිමිවෙලා තිබුනු තැන ගැන සරච්චන්ද්‍රගේ අදහස්වල අධිරාජ්‍යවිරෝදී ආකල්ප ගෑවි නොගෑවී තියෙනව. සරච්චන්ද්‍ර‍ගේ ශිශ්‍ය අවදිය ගැන කතා කරන තැන සාන්ත තෝමස් විද්‍යාලයේ සිංහල ගුරුවරුන්ට හිමිව තිබු තැන තමයි මේ.

"මේ හැම පාසැලක ම සිංහල විෂයක් විය. එහෙත් මට මතක ඇති කාලයේ සිට- විශේශයෙන් සාන්ත තෝමස් හා ඇලොවීසියස් පාසැල් දෙකේ-සිංහල පැය ළමයින් විසින් සලකනු ලැබූවේ විනෝද පැයක් ලෙසය. සිංහල උගන්වන ගුරුවරයාට නොයෙක් අයුරේ විහිලු තහලු හා කෙණෙහිලි කරමින් ළමයි මහත් ප්‍රීතියක් ලබති. සිංහල ගුරුවරයා පැමිණි වේලේ සිට පංතිකාමරය තුළ මහා ගාල ගෝට්ටියක් පවතී. ළමයි කෑ කෝ ගසති. ඔබ මොබ සක්මන් කරති. උනුන් හා සන්ඩු සරුවල් කර ගනිති. සිවුරුම් බාති. සින්දු කියති. ඇතැම්විට රතිඤ්ඤා වෙඩි ආදියත් පත්තු කරති. ඒ හැම ඝෝෂාවකටම ඉහළින් ගුරුවරයාගේ කටහඩ ඇසේ.

මේ තත්වය විදුහල්පතිවරු ද නොදන්නාහු නොවෙති. එහෙත් ඔවුන්ද එයින් විනෝද වන්නා සේය. සිංහල ගුරුවරයා සලකනු ලැබූවෙ ඉංග්‍රිසි කතා කළ සෙසු ගුරුවරුන්ට වඩා පහත් පංතියක කෙනෙක් සේය. සිංහල ගුරුවරයා හදුන්වනු ලැබුවෙ 'සිංහලීස් පන්ඩිට්' කයා ය. 'පන්ඩිට්' යන ඉංග්‍රීසි වචනය 'පණ්ඩිත' යන්නෙන් බිදුනක් වුවද එහි අවමානාත්මක ව්‍යංගාර්ථයක්  තිබේ. 'පන්ඩිට්' යනුවෙන් හදුන්වන්නේ යල් පැනපු ඥාන විෂයන්ගෙන්ද නිෂ්ප්‍රයෝජන දෙයින්ද හිස පුරවාගත් කෙනෙකු ය.

සිංහල ගුරුවරයා ශිෂ්‍යයන්ගේ හාස්‍යයට ලක් වූයේ ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණයේ දක්නට තිබුණු වෙනස නිසාය. කොළඹ මහනුවර ගාල්ල වැනි පළාත්වල ඉහළ පෙළේ මිෂනාරි පාසැල්වල ශිශ්‍යයින්ට පුහුණු කරන ලද ඉංග්‍රීසි උච්චාරණය ගම්බද ළමයින‍්ගේ උච්චාරණයට වඩා වෙනස් විය. පළමු කී විදියට ඉංග්‍රීසි කතා කරන අය 'ගොඩයා' ලෙස හංවඩු ගසනු ලැබූහ. ඔවුන්ගේ උච්චාරණය 'කොළඹ ඉංග්‍රීසි' කතා කරන අයගේ පරිහාසයට භාජනය විය". *(එදිරිවීර සරච්චන්ද්‍ර- පිං ඇති සරසවි වරමක් දෙන්නේ-31)

මිනිසුන් මිනිසුන් හා වෙන්ව සිටීමට හෝ අදිපතිවාදි දෘශ්ටි සමාජගත කිරීමට ඉතාම සුක්ශ්ම වෙයි. ඒවා විටෙක අවිඥානක ස්වභාවයක් වෙයි. භාශාව ද මේ බෙදුම් රේකාව සදහා භාවිත වීම මේ සාදක මත පෙන්වා දිය හැකියි. සිංහල භාශාව ‍කුස්සියේ භාශාව ලෙස  ඉහළ මැදපන්තියෙ අය එවක සිතු බව එතුමාම කියන්නෙ මෙහෙමයි.
"..... සිංහල පාඩම ඉගෙන නොගෙන පංතියට ආ ළමයෙකුට මම වරක් තරවටු කළෙමි. ඔහුට මෙම දඩුවම් දී පාඩම ඉගෙන නොගත්තෙ මන්දැයි ඇසීමි. ඔහු පිළිතුරු වසයෙන් කීවේ 'සර් ඊයෙ අපේ වැඩකාර කොලුව අසනීපෙන් හිටිය හන්ද පාඩම අහගන්න කෙනෙක් හිටියෙ නැ." කියාය.

යටත් විජිත සමයෙහි මෙන් නැවතත් සිංහල කුස්සියේ භාෂාව බවට පත් වීගෙන එන කාලයේ මෙවැනි අත්දැකීම් සැමරීම වැදගත් යයි සිතමි." (එදිරිවීර සරච්චන්ද්‍ර- පිං ඇති සරසවි වරමක් දෙන්නේ-100)

අදටත් මෙබදු භාශාත්මක බෙදීම් සමාජයේ කොතෙකුත් අපට දැකිය හැකියි. සිංහල මිනිසුන් දෙමල භාශාවට හදාගෙන තියෙන උපහාසාත්මක වාගාලාපත් ඒවගේ. දෙමලු වගේ දොඩෝනව. දෙමල්ලු පඩි ගත්ත වගේ. නිදසුන් කිහිපයක්. ඇත්තටම සිංහල දන්නෙ නැති කෙනෙකුට අපේ කතාත් කංකරච්චලයක් ිවෙන්න පුලුවන්. ගුත්තිල කාව්‍යයේ මේක හොදට කියල තියෙනව.

"බසෙකින් නොදන්නා
කියන පුවතට පෙන්නා
නොසතුටුව ඉන්නා
දනන් මෙන් උන් බලා උන්නා."

සාන්ත තෝමස් විද්‍යාලයේ මේ සංස්කෘතිය 'තුප්පහි' සංස්කෘතියක් බව (101) සරච්චන්ද්‍ර ඍජුව පවසයි. 

තම තමන්ගේ කතා විලාසයෙන් කෙනෙක් පහත් කිරීමට ලක් කිරීමේ සිට ජාති වශයෙන් වෙන්කිරීමටත් අරගල ඇති වීමටත් එක්සත් රටවල් බෙදුනු රටවල් වීමටත් තරම් ඉහලට මේ භාශාමය ආකල්ප බලපෑම් කරයි. සිංහල රාජ්‍ය භාශාව වීම වටා ගෙතී ඇත්තේ‍ෙ එබදු ප්‍රවාදයක්. තවත් මෙවැනි අදහසකින් හමුවෙමු.

Thursday, October 1, 2015

‘දෙමලාගේ ප්‍රශ්නය’ හා සී ටී බී ජංගිය


හරියටම හතරයි කාලයි. කොලඹ ඇඹිලිපිටිය සී ටී බී බස් එක. දන්නවද? ඔෆීස් ඇරෙන වෙලාවට යන බස්සෙකක සීට් එකක් හම්බෙනවා කියන්නෙ මාර වැඩක්. මාර සතුටක්. දවසක් වාඩිවෙලා හිටියත් බස්සෙකේ යන කොට ගන්න නැප් එක තරම් වටින යමක් හොයාගන්න අමාරුයි. වෙලාවට පස්‍සෙ දොරේ අයිනෙම සීට් එකේ එක්කෙනයි හිටියෙ. මම සුරුස් ගාල එතනින් වාඩි වුනා.එයා කලු පාටයි. උඩ රැවුල වවල. මම හිනා වුනා. එයත් හිනා වුනා. කියපු විදියට එයා විදුහල්පති කෙනෙක්. දෙමල ඉස්‍කෝලෙ. වැඩිය කතා ඕන නැනෙ. මගේ කෙටි නින්ද කතා අතරෙම ස්ටාට් උනා. හය්යෙන් ගහපු බ්රේක් පාරට මූන ගිහින් ඉස්සරහ සීට් එක ඉම්බ. ටිකක් වේදනාව වුනත් ලැජ්ජාවට ආයෙම නිදා ගත්ත වගේ හිටිය.


බෑග් එකේ තිබ්බ අලුතින්ම ගත්ත පොත. නිර්මාල්ගෙ ‘දෙමලාගේ ප්‍රශ්නය’. කියවන්න ගත්ත. ශහ්. මරු.


“දෙමලාට දෙමල වීම නිසා තිබෙන ප්‍රශ්නය අනෙකක් නොව දෙමළ වීමයි. නමුත් නලින්ද සිල්වා, චම්පික රණවක වැන්නන් බලාපොරොත්තු වන්නේ එවැනි පිළිතුරක් නොවේ..... (33 පිටුව.)

මම තාම කියවනවා‍. බස්සෙකත් මාර වංගු ගන්නෙ. තව පොඩ්ඩෙන් ත්‍රීවීල් කාරය බස්සෙක ඇතුලින් ගිහින් පිටිපස්සෙන් එනව. මම ආයෙම කියවනවා.
“මෙහිදී මා මතුකරන මූලික ප්‍රශ්නය වන්නේ මෙයයි. මෙම ප්‍රශ්නය තේරුම් ගත යුත්තේ දෙමලා සම්බන්ධ සිංහලයාගේ මනස් සෘශ්ටිය අනුව යමින්ද එසේත් නැතහොත් දෙමල ජනයා‍ගේ දේශපාලන හැසිරීම් පිලිබද ‘යථාවාදී’ තක්සේරුවකින්ද?”පොත තියන්නම හිතෙන්නෙ නැ හෆ්ෆා. ඇත්තටම දෙමල අය හිතන්න ඕන මේක සිංහලයන්ගෙ රට. මේක සිංහල සංස්කෘතිය. අපි ඒව පිලි ගන්න ඖන. ඒ අය වෙන්කරන තැනක සීමිත අවකාශයක ඔවුන්ගෙ දේවල්වල නොගැවී අපි ඉන්න ඕන. එහෙමද?මේ අතර නන්දාමාලනීගෙ සින්දුවක් හීනියට ලාවට වැක්කෙරෙනව.


“යදමින් බැද විලංගු ලා -මගේ පුතා රැගෙන යන්න

ඉදි කටු ඇන ඇගිලි තලා- දෙතිස් වදය පමුනු වන්න

අලුත් ලොවක් ගැන සිතීම- දඩුවම් දෙන වරද නම්

කුමට එරට අදිකරනය- නීතිය හා විනිසුරන්”

හ‍ෆ්ෆා. ඉතිං. දෙමල ගායිකාවක් දෙමලෙන් මේ ගීය කීවනම්... මොනතරං එපා වෙයිද සිංහල අපිට? අයෙම නිර්මාල්ගෙ පොතට හිත.චේදෙන් චේදෙ නිර්මාල් රසවත් කරනව. දැනුවත් කරනව. පරදෙමල්ලුද? පරසිංහලයොද?


“නමුත් මා ‘ඓතිහාසික නිජබිම්’ පිලිබද දෙමල ජාතිකවාදි කියා පෑම දකින්නේ සිය දේශපාලන අබිලාස සුජාත කරනය කිරීම සදහා ගොඩ නංවා ඇති මිත්‍යා ප්‍රබන්දමය ගොඩනැංවීමක් ලෙසයි. මා මේ ප්‍රකාශය කළ වහාම සිංහල ජාතිකවාදී කදවුරේ ප්‍රතිචාරකයින් ‘ඕක තමයි අපිත් කියන්නේ ‘ යයි කියනු ඇත. එසේ කීමට කලබල වීම අවශ්‍ය නැත. මා ප්‍රකාශ කරන්නේ ‘ඓතිහාසික දෙමල නිජබිම්’ පිලිබද ප්‍රවාදය මෙන්ම ඊට විරුද්දව සිංහල-බෞද්ද ජාතිකවාදි පාර්ශ්වයෙන් ඉදිරිපත් වී ඇති ‘උතුරු නැගෙන හිර සිංහල-බෞද්ද උරුමය’ පිලිබද ප්‍රවාදයද මිත්‍යා ප්‍රබන්දමය ගොඩ නැංවීමක් බවයි.”

කියවන්න උනේ එච්චරයි. බ්රාාාාාාං ගාල බස්සෙක ලොකු වංගුවක් ගත්ත. පොත බිම. ඒ එක්කම මාර වැඩක් වුනා. නන්දාමාලනීගේ සිංදු වක්කරපු බෆල්ලෙක අස්සෙ ගහල තිබ්බ කුනු ජංගියක් අපි දෙන්න වාඩිවෙලා හිටපු සීට්ටෙක ඉස්සරහට වැටුන. ඒක දැන් එල්ලි එල්ලි තියෙනව. පුදුම කුනු ගදක්. මම ගනං කලා. හරියටම ලොකු හිල් පහකුයි පොඩි හිල් පහකුයි තිබ්බ ඒකෙ.


එහා පැත්තෙ හිටපු දෙමල විදුහල්පතිගෙයි මාගෙයි මුනෙ කිසිම වෙනසක් තිබ්බෙ නැ. නහය ඇකිලිලා. නලලෙ රැලි වැටිල. ඕං චුට්ටක් වෙලා යන‍කොට හීනියට වගේ වෙරලු මල් සුවදකුත් එනව.


මට සේයාව මතක් වුනා. ආයෙම ඉංදියාවෙ දොස්තුර සිසුවිය මතුවුනා.
නැත්තං මේ වයසක කොන්දගෙ ප්‍රෙමනීය සලකුනක් වෙන්න බැරිද.කොහොම හරි මම බහින තැනට එන්න ඉස්සෙල්ල ජංගියත් ඇගේ වද්දගෙනම දෙමල මහත්තය බැස්ස. කලුවරගහ වංගුව පහුකරනවත් එක්ක තියෙන හුඹහ ගාවින් මමත් බැහ ගත්ත.