Monday, November 28, 2022
ඕ බෙදුම් රේඛා නිමවන්නීය
Saturday, November 12, 2022
ජීවිතයේ අහඹු නැවතුම් සලකුනු කුරන 'සුලු තනිතිත'
ජයතිලක කම්මැල්ලවීර. කිව්වම අපිට මතක් වෙන්නේ මහා සාහිත්‍යකරුවෙක්. එපමනයි. කැලරන්ස් කිව්වම අපට මතක් වුනේ ගායකයෙක්. හැබැයි 'ක්ලැරා' කියෙව්වම අපි දැන ගත්තා එයා හුදෙක් ගායකයෙක් පමනක් නොවන බව.
'සුලු තනිතිත' ජයතිලක කම්මැල්ලවීර ස්වයං චරිතාපදනාය. ඒක කියෙව්වම දැනුනෙ මේක මම මගේ අද්දැකීම් නිසාම තේරුම් ගන්නවා මිසක් කිසිවෙක් මේ කතාව ඇත්ත එකක් කියල තේරුම් නොගනීවි කියල. බුදුව මේ ධර්මය කවුරුන් තේරුම් ගනිවිදැයි සීතීම අරුමයක්ද?
මේක කියවන්න අපහසු කතාවක්. එබට කියවන්නම ඕන නම් 56 පිටුවෙ ඉඳල කියවන්න කියල මම ආරාධනා කරනවා. ඔහුගේ ලමාකාලය ගැන ඇති කොටස ඔබ කොහොමවත් පිලිගන්න කතාවක් නෙමෙයි. කතුවරයා මේ සියල්ල සත්‍යම බවට දිවුරා කියද්දිත් මට හිතාගන්න බැහැ මෙහෙම ලමා කාලයක් උරුම කෙනෙක් ලෝකයට මේ තරම් අසීමිතව ප්‍රේම කරන්න පුරුදු වුනේ කොහොමද කියල.
ලමා කාලය ගැනත් ප්‍රේමය ගැනත් ඔහුගේ මතක කෘතිය පුරා යම්තමිනුත් ගැඹුරිනුත් කියනවා. ඒ අතර ම වාමාංශ දේශපාලනයට සම්බන්ධ වෘත්තීය සමිති නායකයෙකු ලෙස ඔහු ගෙවූ ජීවිතයත් ඔහු නොකියා කියන යකඩ හිතක් ඇති ගැහැනියක පිලිබඳවත් මේ කතාව පුරාම වේදනා රේඛාවක් ඇඳෙනවා.
නදිකම්මැල්ලවීර ගැන ගැන කියන කොටසෙදි ඔහු නිර්මානය කල කවිය තාත්තා කෙනෙකුට මීට වැඩිය හොඳට කියන්න බැහැ. මගේ දුව ගැන සැරින් සැරේ මතක් වෙන බවත් සුසුමින් හද බර වන බවත් නොකියා ඉන්නෙ කොහොමද? පොතේ අවසානෙට ආවත් මේ කවිය මුලින් නොකියා ඉන්න බැහැ.
"මිදුලේ වැලිබත් උයන
මගේ පොඩි දූ
හදිසියේ යමක් මතක් වී
දිව එයි ලෙඩ ඇඳේ සිටින මා වෙත
ඇවිත් ළං වී විමසයි
'ඔයාට තනි නෑ නේද තාත්තේ?'
දිව යයි යළිත්
මිදුලේ සෙල්ලම් ගෙයට
නැවතත් මෙහොතකින්
දිව අවුත් මා වෙත
විමසයි
'ඔයාට තනි නෑ නේද තාත්තේ?
චුට්ටක්වත් තනි නෑ නේද තාත්තේ?'
මිදුලේ සිට මා වෙත
දිව ආ හැකිය මොහොතකින් අද
එහෙත්
අනාගතේ යම් දවසක
කොතැනක හෝ දුර බැහැරක
දරු පැටවුන් සමග
ජිවිතේ ගැට ගසා ගන්නට
දත විකා බර අදින විට
වහා දිව එනු නොහැකිව මා වෙත
දුකෙන් විමසනු ඇත සිතෙන්
'ඔයාට තනි නෑ නේද තාත්තේ?
චුට්ටක්වත් තනි නෑ නේද තාත්තේ?"
නදී, මේක බැලුවහම ඔයාට මොනවද හිතෙන්නෙ කියල මට දැන ගන්න තිබුන නම් කියල මට හිතුන. ඒත් ඒක නොකියා ඉන්න එක ගැන ඔයාට ස්තුති වන්ත වෙනවා. මගෙ දු ගැන මට ඇති බොලඳ හා සිනහා කැටිවුන අද්දැකීම් මීට දශමයකවත් වෙනසක් නැ.
කතුවරයා තමා මොනතරම් දේශපාලන පරිනත අයෙකු වුවත් ජාතික ජනබලවේගයට දැන් තමාගේ සම්බන්ධය ගැන කියනවා. ඒ වගේම වාමවාදී දේශපාලනයෙන් ආ වාසු වැනි කෙනෙකු දැන් වැටී ඇති පහත් තත්වය ගැනත් සිහිපත් කරනවා. ඒ විතරක් නෙමෙයි ඔහු තරුන කල කල කැප කිරීම් ගැනද අඩුවක් නැතිව කියන ගමන්. ඒ වගේම මහින්ද රාජපක්ෂ නැමති පිලිලය විනාස නොකොලොත් මේ රටට වන දේ ගැන ඔහු ලියූ ලිපිය ඔහුගේ පරිනත බව කෙතරම්දැයි අපට පෙන්වා දෙනවා. ඔහු මේ ලිපිය ලියා ඇත්තේ 2015 ජූලි මස 12හ.
"මහින්ද රාජපක්ෂ පිළිලය හට ගෙන එය ක්‍රමයෙන් වැඩෙන බව දුටු විට එය කපා ඉවත් කළ යුතු ව තිබුණි. එහෙත් එය එසේ නොවීමෙන් සිදු වූයේ එය වෘක්ෂය වටා පැතිරීමයි. දැන් ගස මැරී යාමට නියමිතව තිබේ. කොතරම් කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් පෑවද මෙ ඉරණමෙන් ගස බේරා ගත නොහැකිය. ... හටගත් පිළිලය විසින් එහි විනාශය ළඟා කර දෙනු ලැබ ඇත."
'තනිතිත' කියන්නෙ එම පක්ෂයේ විනාශය ගැන වුවත් ඔහුත් ඔහුගේ සහෝදරයනුත් ප්‍රමුඛ සගයන් මේ රටට සිදු කලේද එයයි. අදටත් අප මේ පිලිලය ලක්රුකේ යුෂ උරා බොමින් විනාශයට පමුනුවමින් සිටී.
අද සමාජවාදය හාස්‍යයටත් උපහාසයටත් පත්කරන පලමු පෙලේ නායකයෙකු ඇත් නම් වාසු දේවට ඒ තැන හිමි වෙයි. එහෙත් වාසුදේවගේ දේශපාලනික මැදිහත් වීම් ඉතිහාසයේ දී කෙසේ දැයි දක්වන 'තනිතිත' වාසුගේ දැන් තත්වය ගැන පවසන්නේ මිනිසකු තමන්ගේම ප්‍රතිපක්ෂය වීම සිදුවන ආකාරය පෙන්වා දෙමින්.
"වාසු අද දේශපාලන ප්‍රතිපත්ති අතින් පවුල්වාදය දක්වා අන්තයට පිරිහුණ දේශපාලනයට දරදිය අදින්නෙකු බවට පත්වී සිටින අතර" (172පිට)
'තනිතිත' සමාජවාදය දකින්නේ අමුතු ආකාරයකටය. ඒ සමාජවාදය නොවේ. අසීමිත මානව ප්‍රේමයයි. ලෝකය පිලිබඳ අසීමිත සෙනෙහසයි. මේ අදහස කියවන්න.
"මම කොන්දේසි විරහිතව මිනිස් නිදහස අපේක්ෂා කළෙමි. සමාජ සමානත්වය සේ ම ස්ත්‍රී පුරුෂ සමානත්වයද අගය කළෙමි. .... ජනප්‍රිය මාක්ස්වාදයේ එන පන්ති බෙදීම අනුව මිනිසුන් හඳුනාගත නොහැකි බවත් මිනිස් සිත ඒ පන්ති සීමාවන්ගෙන් ඔබ්බේ පවතින සංකීර්ණ වස්තුවක් බවත් හඳුනා ගන්නා අයෙකු වන මගේ සාහිත්‍ය භාවිතයේ පදනම වන්නේද එයයි." (188පිට)
ඔහුගේ ජීවිතය ගැන දැන ගැනීමට මේ පැහැදිලි කිරීමම මදි නොවේද?
"ඉතිං මම තෘපිතිමත් මිනිහෙක්.
ඇත්තටම සැබැවින්ම තෘප්තිමත් මිනිහෙක්"
මේ කෘතිය අවසන 'තනිතිත' තබන සටහන. ඔහුගේ ජීවිතයේ ඉතිරි කාලය ගැනද තව ලියවේවි. එතකල් මේ තෘප්තිමත් මිනිසාද ඔහුගේ අපේක්ෂාව ද සපල වෙන තුරු බලා හිඳුමු. සුබ දිගු දිවියකට ඔබට සුබ පැතුම් එක්කරමින් නවතිනවා. ජය!
Saturday, October 22, 2022
(මග්ගෙකේ හැපුනු හග්ගෙක)
Friday, September 16, 2022
මට දුරද මල් පිපෙන හදවත
Thursday, August 11, 2022
සියලු දේ කාලය ම අල්ලා ගැනීමක
මේ ලියවිල්ල සුනිල් වික්‍රමසිංහ අප
සුහදවතාගේ ‘සියලු දේ කාලය ම අල්ලා ගැනීමක’ කියවමින් ලියන පොඩි විමසුමක්. මම කියවන
පොතක් ගැන පොඩි හෝ සඳහනක් බ්ලොගයේ පල කිරීම මට ඇති නරක පුරුද්දක්. මේ නමම මට මහත්
කුතුහලයක්. කාලය යනුවෙන් ඇත්තටම නැති දෙයක් ඇති දෙයක් බවට අපි පත් කර ගෙන. කාලය
යැයි අල්ලා ගැනීමම වරදක් නො වේද? මේ අල්ලා ගැනීම් හා අත්හැර යාම් අතර ඇති අවකාශය
කාලයද? සුනිල් පිදුමේ දී අම්මාම සිහිපත් කරමින් පවසන්නේ එයම යැයි මම සිතනවා.
“ඇය
මහපොළව සේ කම්පා විඳ
අපෙන් නික්ම ගියා ය.
සුළඟ සේ
වැස්ස සේ
සඳ-හිරු එළිය සේ
ළඟට නොආවත්
හුස්ම අකුරු වී සිටින අම්මාට.....”
කුස තුල සිටියදී අපි ගත්තේ ඇයගේ හුස්ම.
තනිව හුස්ම ගත්තද කලක් පෙරා ඇවිත් ඇය ජීවිත දෙකකට හුස්මද ආහාරද ගත් බව ඔහු සිහියට
නඟයි. ඇයගේ වෙන්ව යාම ජිවීතය හා මවගේ ජිවිතය අතර අවකාශය කාලයම අල්ලා ගැනීමක් ද?
කතුවරයාම කියන පරිදි කාලය හුදු මවාපෑමක්ම නො වේද?
“එනිසා කුමන හේතුවක් මත මෙම කවි පොත ඔබ
අතට පත්වුවහොත් සියලු මායාමය අල්ලාගැනීම්වල සත්‍යය සොයන්නට හේතු වන යමක් ග්‍රහණය
කරගන්නට හේතු වේවායි පතමි.”
මේ පොත මට ලැබුන හේතුව සුනිලුත් මාත්
එක සමාන අවකාශයක සිටීමයි. එයට කාලයේ සම්බන්ධයක් නැහැ.
‘සිහින සහ අක්කා’ සුහදවතාගෙ කවි කතාවල
වේදනාත්මක ප්‍රකාශයක්. ඇය දස වයසේදීම ගොස්. හුස්ම කුරුල්ලන් සේ පියඹා අතැර. ඒ
අක්කා කවර තරමේ අක්කෙක්ද? ඇය නියං කාලයට වැව් පොකුනු පත්ලටම ගොස් මියෙන කොරලි පැටවුන් රැකියක්. ඒත් ඈ යන්න
ගිහින්. මේ කවිය කියවන්න. ඒක වෙනම අරගෙන කෑල්ලකින් පෙන්නන්න පුලුවන් වේදනාත්මක ප්‍රකාශයක්
නෙමේ.
‘ලොකුසාදු මම යනව’ කවිය මේ ශෝක ගී
මාලාවේ හැකිලුමක්. මේ කවි පොතම මානවයා මානවයෙකු නිසාම විඳින විඳවිම්වල කැඩපතක්. මේ
විස්තර කල නොහැකි දාර්ශනික එලඹුම්.
“ලිහිණු අරලිය මල් පෙති කෝටියක
ලියල එවනව මම
මේ සංසාර සූත්‍රයේ තනිකම
තියෙනවනම්
නිවන් ගිය අය ඉන්න ලෝකයක්
ඒ මල්
පෙති එහෙට එන කොට
හිස අතගාලා
මට සමාව දෙන බව
දන්නවා මම ලොකු සාදු”
කතුවරයා එකින්නෙක පෙලගසන මේ කව් පන්ති
ජිවිතය විනිවිදන පිහිතුඩවල් වගේ. හද රිදුම් දෙන ඒ රිදුම් මැද කීරි ගැහෙන සත්‍ය.
තේරුම් ගන්න අකමැති ඇත්ත. ඒකට වේදනාව පීඩාව කියනවට වඩා මම කැමති සිදුවීම් හැටියට
ඒව වෙනම තැනක තියන්න. සතුට හෝ වේදනාව අපි ඒවට දීපු නම් නොවෙයිද? “සුසානයක මුරකරුට”
කවි පන්තියේ ඔහු තවත් එක් සිදුවීමකට දාර්ශනික ප්‍රවේශයන් සපයන්නෙ මෙහෙමයි.
“මේ සංසාර ඇට සැකිල්ලම
පිළුණු සුසානයක් බව කයන
ඉස්සර දවසක මුණ ගැසී තිබුණා නම් ඔබ
මටත් වැටහෙන්න තිබුණා
ජීවිත සුසානයෙත් සොහොන් මල් පී දෙන
බව...”
ඇත්තටම මේ පිපෙන මල් සුසානයක පිපෙපන
සොහොන් මල් නෙමෙයිද? සුසානයේ පිපෙන සොහොන් මල් සිඹිමි. පර යන සැටි බලමි. මල්
කැකුළු පිපෙයි. කොතරම් ලස්සනද? කවිය. ඔබ මට සොහොන් මලක්. එය අප සුසානයන් සරසන බව
සිතා තුටු වෙම්.
Monday, June 6, 2022
රළ නො නගන මිනිස්සු ගැන කියන 'රළ නගන මිනිස්සු'
අරගලය කියන්නෙ හැම වෙලාවෙම මහ පාරට ඇවිත් කෑ ගහන එකම නෙමෙයි. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. හැබැයි මේ හැම දේම කරන උස් රැළි නගන මිනිස්සු නැතුවාම නෙමෙයි. ලියනගේ අමරකීර්ති ඒ වගේ ලේඛකයෙක්. ගෙයින් ගෙට ගිහින් දේශපාලනිකව මිනිසුන් දැනුම්වත් කරන මේ ලේඛකයා ලියන, පරිවර්තනය කරන පොත් සියල්ලමත් අරගලයේම නො නැමෙන කොන්ද ශක්තිමත් කරන ඒවා. ජෙරොම් ලෝරන්ස් සහ රොබර්ට් ඊ. ලී. යන දෙදෙනා ලියපු Inherit The Wind' කෘතිය 'රළනගනමිනිස්සු' හැටියට තනි සමාස පදයක් කොට ඔහු පරිවර්තනය කරනවා. ඒක ඔබ කියවිය යුතුම පොතක්. ආගමික සාමාන්‍ය පොදු ජනයා ජීවිතය සංස්කෘතිය ගැන ප්‍රශ්න නොකරන ඒවා පවතින හා පැවතිය යුතු දේවල් හැටියට පිලිගන්න හැටි මේ කෘතිය හරහා දැඩිව ප්‍රස්න කරනවා. කර්කශ විවේචනයට පාත්‍ර කරනවා.
මේ කෘතිය තමා පරිවර්තනය කරන්නේ ඇයිද යන්න ගැන කරන පෙරවදන, ඔබට නාට්‍ය කියවන්න කම්මැලි නම්, කියවන්න යැයි මම යෝජනා කරනවා. තම සිසුන්ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී නාට්‍ය ගැන කරන පාඩම්වලට මේ කෘතිය බොහෝ සෙයින් යොදා ගන්නේ ඇයිදැයි ඔහු කියන ආකාරය අපව නැවත නැවත කෙනිත්තීමක්.
"එහිදී මා නිතර මතු කරන එක තේමාවක් වේ. ඒ නම් නාට්‍ය කලාව යනු ලෝකය පවතින ආකාරය ප්‍රශ්න කිරීමේ මෙවලමක්ය යන්නය...."
1925දී පැවති වඳුරු නඩුව (Monkey Trials) නම් සත්‍ය නඩුව හා සම්බන්ධව මෙම නාට්‍ය ලියැවෙයි. චාල්ස් ඩාවින්ගේ පරිනාමවාදය පාසක ඉගැන්වීමට දැක්වුනු ආගමික විරෝදතාව හා මහජන කැලඹීම මෙහිදී සාකච්ඡා කරයි. එය අපට එදාට වඩා අද නඩු ගැනද එහි තීරන ගැනද තේරුම් ගැනීමට පසුබිමක් ගෙනෙයි.
අපි ලෝකය පවතින ආකාරය ප්‍රස්න කල යුත්තේ ඇයි?
මෙහිදී ලෝකය යනු ස්වභාව දහම නොවෙයි. අපි අපිම ගොඩ නගාගත් දැනුමයි. සංස්කෘතියයි. දැනුම නව දැනුමකින් එහි ස්වභාවය දිනෙන් දින වෙනස් වෙයි. අලුත් වෙයි. ප්‍රස්න නොකරන්නේ නම් දැනුමද ආගමික කෘති සේම දේව වාක්‍ය වෙයි. ලෝකය රොටියක් ලෙස හෝ ආප්පයක් ලෙස අප නොපිලි ගන්නේ විද්‍යාත්මක දැනුම හේතුවෙන්.
මෙම නාට්‍ය එක අතකට සංස්කෘතියද සංස්කෘති සකස් කොට එහිම තාවර වන ලගින ගොම තැබ්බවල් වැනි මිනිස්සුන්ට එල්ල කරන පා පහරක්. පරිනාමවාදය ගැන වචනයක් කියවා නැති, මෙහි සඳහන් මැතිව් හැරිසන් බ්‍රේඩි එය ඉගැන්නූ ගුරුවරයාට දඬුවම් දීම අත්‍යවශ්‍යම දෙයක් බවට තර්ක කිරීම අතිශය උපහාසයක්. හෙන්රි ඩ්‍රමන්ඩ් නඩුවට ගෙනෙන එකඳු සාකෂිකාරයෙක්වත් උසාවිය පිලිගන්නේ නැහැ. පසුව බ්‍රෙඩීම ප්‍රස්න කරන් ඩ්‍රමන්ඩ් සත්‍යයෙහි බහුවිධභාවය (අමරකීර්ති. පෙරවදන) නාට්‍යයෙහිදී පවසන්නේ,
"ඔබතුමා හිතන දේවල් ගැන ඔබතුමා හිතනවද? දෙවියන් වහනේසේ මවපු පලවෙනි දවස පැව විසිපහක් වෙන්න බැරිද? ඒක මනින්න ක්‍රමයක් ඇත්තෙම නෑ. කියන්න විදියක් ඇත්තෙම නෑ. ඒ දවස පැය විසිපහක් වෙන්න බැරිද?"
ඩ්‍රමන්ඩ් මේ ප්‍රස්න කරන්නේ සාම්ප්‍රදායික මිනිසුන්ගේ. දේවවාක්‍ය ලෙස තම වටපිටාව වෙනස් නොකර ප්‍රස්න නොකර දෛවයට බාරදී සුසුම් හෙලන මිනිස්සුන්ගෙන්. ඒ ගැන හිතන නොසැලකිලිමත් තක්කඩින්ගෙන්. එවන් අයගෙන් මේ ලොව බේරාගත යුතු නොවෙයිද?
"බ්‍රෙඩී - මම කියන්නම් එයා මොකක්ද කරන්න හදන්නෙ කියල. එයාට ඕන ශුද්ධ වූ බයිබලය ගැන, දෙවියන් වහන්සේ ගැන හැමෝගෙම භක්තිය විනාස කරන්න. ඒක තමුන්නාන්සෙ දන්නව.
ඩ්‍රමන්ඩ්- ඔබතුමා දන්නව ඒක ඇත්ත නෙමේ කියල. මම උත්සහ කරන්නෙ තමන්ගෙම මතයට ඇලිල ඉන්න තමුන්නාන්සෙල වෙගේ ආධානග්‍රාහීන්, ආඥානයන් ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය පාලනය කරන එක නවත්තන්න! ඒක තමුන්නාන්සෙ දන්නව!"
අවාසනාවට දකුනු ආසියාවෙ තත්වයත් මේකමයි. ඔබ පවතින සුජාත ආන්ඩුව, සුජාත සිංහලයන් ගැන ප්‍රස්න කරන්න පටන් ගන්නකොටම අවජාතක වෙනව. නිරාගමික වෙනව. ජෙප්පෙක් වෙනවා. කාලකන්නි රටට ආදරේ නැති පරයෙක් වෙනවා. ඉතිහාසය දන්නෙ නැති බුද්ධාගමට කතෝලික මුස්ලිම් ආගමට විරුද්ධ නිරාගමිකයෙක් වෙනවා.
ඒත් අපට රැලි නොනගා මල මුහුදක් විය හැකිද? බැහැ. අපි මේ ඒකාකාරී වටපිටාව, දැනුම, අධ්‍යාපනය උගන්නන ගුරුවරු, නීතිය, නඩු තීන්දු දූෂිත අධිකරනය ප්‍රස්න කරමු. යුක්ති සම්පන්න හෙටක් වෙනුවෙන්. ඔබ ඔවුන් (සුජාත දේශපාලකයන් හා ඔවුන් තනන දේශපාලන ආගමිකයින්) කියන ආකාරයේ පරයෙක්, අවලමෙක් වීම භාග්‍යයක් කොට හිතන්න. එවිට ඔබ පාපයෙන් මිදෙනු ඇත.
(අමර කීර්ති ලේඛකයා භාවිත කරන රචනා ශෛලිය සිංහල ලේඛකයන් නැවත නැවත පරිස්සමෙන් කියවිය යුතු. එය එතරම් මනස්කාන්ත භාෂා භාවිතයක්. අපට කෙතරම් න්‍යායාත්මක රචනයක් වුවත් ආසාවෙන් කියවිය හැකි ශෛලියක් එය. මේ කැපකිරීම්වලට ඔහුට ආදරය ශක්තිය දිය යුතු.)
Wednesday, April 27, 2022
සරුංගල් ප්‍රේමිය ගැන ප්‍රේමයෙන් ලියමි
වින්‍යා මැණිකේ ජයසේකර. මේ නමද මට අමුතු එකක්. වින්‍යා ටිකක් අලුත්. මැණිකේ පවුලේ අයට දාන නමක් . ජයසේකර පස්සෙ එකතු වුන එකක්. ඉතිං එයාගෙ ‘සරුංගල් ප්‍රේමිය’ කියවන ගමං.
වින්‍යා
-ඒක අමුතු තාලයක් තියෙන පොතක්. ශබ්ද
නගා තාලයකට ලයිට් කපන දවසක රාත්‍රියේ.
- ඒ කවි හරි අමුතු මතක ගැන තාලයකට
ලියපු ලියවිල්ලක්. ‘සරුංගල් ප්‍රේමිය’ නම වගේ ම මගේ හිත් ගත් කව. ඒ කවෙත් අන්තිම කොටස.
“ප්‍රේමිය.
විටෙක සැඩ
විටෙක නිශ්චල
ජීවිතය
ඔසවා තැබිය හැකි
සීමා දුරක්
සෑම විට ම සුළඟ සතු ය.”
-
වින්‍යා, ඔයා ලංකාව තේරුම් ගත් හැටි
හරිම අපූරු වේදනාවක්. අද අද්දකින සත්‍යයක්. කවියෙකුට කලිංම අනාගතය දකින්න පුලුවන්.
“කඩුව අතින් ගත් සිංහයාගේ බිරිඳ කී කව” හරිම දේශපාලනික ආස්ථානයක් දරන පට්ට කවියක්.
එයා කියන විදියටම සිංහයාට ලැබෙන අන අද ලැබී නැද්ද?
“ හිසට සම එසවී
කෙසර වලිගය නවා
දෙපා මැද සඟවන්න
අණ ලැබෙනු ඇත”
දැනටමත් ඒ අණ ලැබී වලිගය දෙපා මැද
රඳවාගත් සිංහයන් සැරි සරනවා නො පෙනෙයි ද? ඇය කවිය අවසන කරන යෝජනාව ජාතියක ඛේදවාචකය
ඉඟි කරන්නක්.
“එයින් පසු ඔබ
තුන් සිංහලය ගැන නො තැවෙන්න
සැරිසරන
වනාන්තර නො සොයන්න
හිරිවැටුණ අත බිම තබා
සෙමෙන් මේ දැල් කූඩුවට එන්න.”
අපි සිංහයාට ඒ යෝජනාව කරමු.
ටෙහෙරාන් අහස යට කවිය ලස්සනම ආකෘතියක්.
ඒ වගේ ම ඔබ සම්මත ආකෘතික රටාවන් බිඳිනවා මෙතැනදි. ඔබ ගැහැනු වෙරලක් ගැන කියන විට
මට සිහිවන්නෙ පිරිමි වෙරලවල්.
රැඳෙමි
බිඳි බිඳි දියව යමි
හැපෙන රළ වැළඳ
ගැහැනු වෙරළක් ව”
ඒ කවිය ආකෘතිය අතින් පාද පහක් සහිත අග
එලිසම ඇති කවක්. ඒ වගේම අනාගතය දල්වන ගිනිපුපුරු මේ කවිය පුරාම දකින්න පුලුවන්.
“පැසෙමි
හුණුව වැගෙරෙමි
දූ මිණ වෙතට නැමි
පිළිල මත
ලෝ දියව ගලන ගඟුලක්ව”
වින්‍ය ඔබේ කවි පොත මා බිරිඳටත් දුවටත්
ඇහෙන්නට හයියෙන් කියෙව්වා. තාලයකට. බිරිඳටත් දුවටත් නින්ද ගිහින්. ලයිට් නැති
කලුවර ලංකාවෙ එක් රෑක. ඒත් මම මේ කෙටිම සටහන ලියන්න හිතුව. මේක නො වැදගත් වුනත් ඔබගේ
කවි ගැන නොලියා කවි නොකියවා ඉන්නෙක අමාරු වැඩක්. මමිතුරිය. ජය.!
Wednesday, January 19, 2022
"බිමට වට සිත" ලස්සන, සුවඳ මල් පිපුණ කලු කෙල්ලෙකුගේ හදවත
එරන්දි - මට හමුවුනේ පේස්බුකියෙන්. එයා අහම්බෙන් හම්බුන යාලුවෙක්. එයා ලියන කවි මට නොකියවා ඉන්න බැරි වුනා. ඒව ආදරය ගැන වුනත් වෙනත් බොහෝ දේවල් ගෑවෙමින් නොගෑවෙමින් ලියැවුණු කවි. එරන්දිට මම මුල ඉඳලම කිව්වෙ කලු කෙල්ල. එරදන්දිගෙ කවි නැති වුනාම මම අහනව ඇයි කියල. තාමත් කුමාරය ජනේලයෙන් කාමරයට එනවද කියල.
කවිපොත- "අය්යෙ. මම කවි පොතක් ලිව්වා. " එරන්දි කිව්ව. ඒ ගැන අහපු දවසේ ඉඳල පොත කියවන්න ආසාවෙන් හිටියෙ. "එරන්දි, කලු කෙල්ල, අද පොත හම්බුනා. මේ ඒ පොත මට දැනෙන හැටි."
පෙරවදන - ඒක ආවර්ජනාවක්. ඒත් ගද්‍යමය කවි මල්ලක්. මුලු පොතමත් පෙරවදනත් එක සමාන එකක්. මේ බලන්න.
" සුසානයක් වූ හද මත කැලෑ රෝස, වද, අරලියා, බෝඹු ආදී මල් පිපේ. ඒ නිසාවෙන් කෙලින් කටින් සිටිය නොහැකි මොහොතක වුව ආත්මය පුරා සුවඳ විහිදේ."
ආත්මය - ඔබේ ශරීරයට ගැහැනු , පිරිමි හෝ නපුංසක විය හැකියි. ඒත් ආත්මය. එය හුදු පැවැත්මක්. ඒකට ලිංග භේදයක් නැ. එරන්දිගෙ සුසාන හදවතේ පාට පාට නෙක විසිතුර් මල් පිපීම නොනවතින්නක්.
ඇය - "හිත පුරා පිපෙන කැලෑ රෝස සහ වද මල් ප්‍රමුඛ මල් කාණ්ඩයන්ට ඉත සිතින් පිබිදෙන්න ඉඩ හරිමි." යයි පවසයි. ඒ එකක්වත් ඔබ අධික මුදලක් ගෙවා මහන්සියෙන් වතුර පෝර දමමින් රැකගන්න දරන මල් නොවෙයි. වෑත්තෑවේ හිමියන් "වනපස මලින් පුද - කලැයි පවසනු කවර වරදද" යනුවෙන් අසන්නේද මේ කවි මල් ගැනම නොවේ ද?
සියුම් මිනිසෙක් - පස්වෙනි කවිය පුරා දිවයන මේ සියුම් මිනිසා කවරෙක්ද?
"ඔහු පතුල නොපෙනෙන ගැඹුරු මුහුදක්
අතින් ඇල්ලිය නොහැකි සුළඟක්
ආත්මය මත අඩි තබා ගොස්
මා මතම සැඟවෙන සියුම් මිනිසෙක්"
ඇල්ලිය හැකි සුලං ඇතැයි සිතන්නට අපට ආරාධනා කරනවද?
විදුලි පුවත - මීට වැඩිය හොඳ විදුලි පුවතක් ඔබ වෙත ලදොත් මාහට කියන්න. මෙය කියවන ඔබෙන් මල වෙන දෙයක් ඉල්ලා සිටිය නොහැකියි.
"ලොකු අය්යෙ
වසන්තයේ යතුර
මා අතින් නැති වුණා
ඔයා වෙන ජීවිතේකට ගොඩ වෙන්න!"
මේ වසන්තයේ යතුර කුමක් වෙන්න පුලුවන්ද? ලොකු අයියා කවුද? ඇගේ පෙම්වතා විය නොහැකි. කුඩා කල සිට ඈ මතම බලාපොරොත්තු ගොඩ ගසපු අයියාට වෙන ජිවිතයකට ගොඩවන්න සිදුවන්නේ ඇය ඔහුගේ සිහින පාට නොකල හෙයින් විය හැකියි. අපට පාට කරන්නට ඇත්තේ සෑම විටම අනුන් වෙනුවෙන් අනුන්ගේ හීන. ඒත් මේ තමන්ගේ හින හරියට පාට නොගෑ හෙයින්අනුන්ගේ හිනද කැත වන බව කියන්නක්.
අපිට තිබුනා හිතන්නට- මේ මම ආසම ඇගේ කවි රිද්මය. ඒව හරිම ගණිතමය ප්‍රකාශන. ඒත් කාව්‍යමය ගුණ පිරුණු. නැවත නැවත කියවන විට නවතම අරුත් මතුවන.
"ප්‍රේමයේ ආසන්න දශමස්ථානයට
මේ බැඳීම වටයන්න පෙරාතුව
අපිට තිබුණා හිතන්නට
තව ඇබින්දක් දුරට
ස්වර පරාස අස්ථාවර නොකර
ප්‍රේමයේ ගීතය ගයවාමයි හිතුවට
ස්ථායි කොටස් ගැයෙන්නෙම
අස්ථායී විදියට"
මට අදත් සිතෙන්නේ අපට තව ඇබින්දක් හිතන්නට තිබුන බව. දැනුදු අප ස්ථායී කොටස් අස්ථායිව වයමින්.
කිවිඳිය අපට අපවම දෙස නැවත බලන්නට ප්‍රෙම ගීයේ තාල අල්ලන්නට ආරාධනා කරනවා.
ගැහැනියකට පුලුවන් - ඇත්තටම ගැහැනියකට බැරි මොනවද? ඇය පුලුවන් දේවල් ගැන මෙහෙම ලියනවා. ඒව කවි නෙමෙයි. බර අවි.
"ගිගිරුම් සහිත වැසි වැටෙන හවසක
ඉපැරනි පෙම්වතුන්ගේ මතක
කඩදහි බෝට්ටුවල පා කර යවන්නත්
වැහි පොදේ තෙමෙමින්
නැවුම් වෙන්නත්
ගෑනුන්ට පුලුවන්
..............
ජීවිතය දෙපස පිරි වල් පැළ මඩින්නත්
ඒ දෙපසේ මල් වැටක් තනන්නත්
ගෑනුන්ට පුලුවන්."
එරන්දි - ඔයා මේ කවිමල්වලින් කල වැට ඉතාම අගෙයි. ඒ වැටේ මල් සිඹින්මින්ද අතගාමින්ද මටත් එවැනි මල් වැටක් ඇත්නම් මැනැවැයි ද මට සිතෙයි.


