Friday, September 16, 2022

මට දුරද මල් පිපෙන හදවත





නිවුන්හැල්ලගේ කවි පොත වේගයෙන්ද හෙමින්ද මද වේගයෙන්ද කියවමින් සිතමින් යම් සටහනක් තියන්න හිතුවා. 
මේ පොත මට අමුතුම අද්දැකීමක් වුනා. ඒකට එක හේතුවක් ආරියවංශ රණවීර ගැන නිවුන්හැල්ලම ලියපු තමාගේම ගීතය ගයන තණ ගිරවා කෘතියත් මීට සමගාමීව කියවන්නට ලැබීම. විශේෂයෙන් එහි ඇති හයිකු කවි ගැන කතා බහ ඉතාම සිත් වැදගන්නසුලු එකක්.  ඒකට හේතුව නිවුන්හැල්ලගේ කවි පොතම එවැනි කෙටි කවිවලින් පිරී තිබීම. එම කවිවලට නම් ඇතත් ඒ කවි කොටස කොට ගෙන රස විඳීමට මම උත්සහා කරනවා. ඒනා නැවත නැවත අර්ථයන් මතු කරන ලස්සන කවි. අරුත් කවි. ක්ෂුද්‍ර කවි. හයිකු කවි. ඇත්තටම ජීවක වෙදැදුරා කිව්වා වගේ එක පැලෑටියක් බෙහෙතට නොගෙන සිටිය නොහැකි මෙන්ම එක වචනයකටවත් කවියක් නොවී ඉන්න බැහැ. ඒවා ඉන්න තැනින් ගලවල කවි තියෙන තැනක තියන කරන එක තමයි කවියා කරන්නෙ.

හයිකු වගේ කියවන්න බැරි සහ පුලුවන් එකම කවි පන්තිය පිස්සා නමින් එන එක. ඒක අමුතුම වේදනා ඉරක් අදින ගමේ හමුවන කෙනෙක් ගැන කතාවක්. ඇත්තටම පිස්සෙක් කියන්නෙ කවුද? මොනතරම්  බරක් එවැන්නෙකුගේ හිතක හිරවී ඇද්ද? එවන් දෙයක් ඔහු උනේ ඇයි? මේහැම ප්‍රශ්නයකටම සාවධාන වෙන්න මේ කවිය පාඨකයාට ආරාධනා කරනවා.

"කොතැනක හරි ඉඳගෙන 
ඉර බසින දෙස බලා ගෙන
හයියෙන් හිනාවෙන
කළුවරට ඉස්සර
ගෙදර යන විට 
හමුවන
ඕන කෙනෙකුගෙන්
බීඩියක් ඉල්ලන"

මේ අපට නිතර හමුවන අර පිස්සා. ඇත්තටම කෑ ගල්ලෙ මේ වගේ කෙනෙක් හිටියා. එයා කවුරු හරි සිගරැට්ටුවක් බොන කොට හාං තව බොන්න තව බොන්න කියල ඉල්ලා ගන්නවා. පස්සෙ යන්න යනවා. කුරුවිට මේ දවස්වල පයනි යන ලස්සන පිස්සු කොල්ලෙක් ඉන්නවා. එක එක්කෙනා විවිධ පුවත් එයා වටා ගොඩ නගා තියෙනවා. ඒවා එකතු කරන ගමන් මේ.

තව පොඩ්ඩනේ අමතක වෙනවා. නිවුන් හැල්ල කියන මේ පිස්සා නිතරම
"ඕන කෙනෙකුගෙන් බීඩියක් ඉල්ලන" පිස්සෙක්. මොනව උනත් අවසානෙට එකම යෝජනාව කරන පිස්සෙක්. ජෝතිගේ සින්දුවක් කියන පිස්සෙක්. වක්‍රව ආදරය අහමිව ගිය ඒත් තාමත් ඒ මතක මත තාවර වන ලෝකෙ වෙන කිසිම දෙයක වටිනාකමක් නොදකින මනුස්සයෙක් අපට හමු වෙලා. ඒත් අපට ඔහුව මග ඇරිලා. 
"එබී වැව් දියට
අතැඟිලිවලින් 
ඔළුව පීරන" මේ මිනිසා වැව් දියේ පෙනෙන වලාවලට හිනාවෙමින් ආපසු යනවා. මගදි හමුවන ඔනෑම කෙනෙකුගෙන් බීඩියක් ඉල්ලනවා. මේ හැම ප්‍රකාශයකම වැතිරී සිටින මිනිසා ගැන සානුකම්පිත වන ලෙස මුලු කවිය පුරාම සහෘද රේඛාවක් දකින්න පුළුවන්.

මේ කවියාගේ කවි නිසඳැස් ආකෘතිය ගැන නැවත සිතන්නටත් අපව පොළඹවනවා. නිසඳැසේදි කවියක පද පේළිවලට කඩන එක මාර වැඩක්. ඒකට නීති නෑ. ඒත් ඒක ගැන කවියෙකුගෙන් ඇහුවොත් එයා දහසක් දේ කියාවි. නිවුන්හැල්ල ඒක හයිකු එක්ක කරපු ගනුදෙනුවක් කියලමයි මට හිතෙන්නෙ. ඒ කවි කඩපු හැම තැනකම වේදනා බර නැවුතුමක් හෝ සිතුවිල්ලක් අපට දකින් පුලුවන්. ඒතරම්ම ඒ නැවතුම් කවිය එක්කම බැඳිල තියෙන්නෙ. 

යොධයාගේ මල් උයන කවි නම තියෙන කවි පට්ට දේශපාලනිකයි. උයන ඇතුලෙත් පිටත් යෝධයෙකු ඒවි යැයි සැකයෙන් යුතුව මල් උයන නරඹන මිනිසුන් ගැන කියන කවි ගොඩක් මේ. දැනට නිකමටවත් මල්වත්තකට යන පෙම්වතුන් ගැන ඇසෙන ඇඟ හිරිවට්ටන සයිරන් නලා ගැන ඔබ දැකලා ඇති. එතැනින් එහාට යමින් අපව වෙලා ගන්නා නොපෙනන අධිපතිමතවාදයන් ආගමික දේශපාලනික බලපෑම් ගැන කවියා කියන අකාරය ඉතා ලස්සන වැඩක්.

"යෝධයා කොයිබද
උයන තුළ ම ද
උයනින් බැහැරද
හැම මොහොතම
මග හැරෙයි
මල් සුවඳ"


මම ආසම මේ කවි මුල් කවියෙන් ගලවලා තනිව තියන්න. ඊට පස්සෙ ඒවායේ රස බලන්න. හැඩ විඳින්න.
මේ බලන්න මේ කවිය.
"සොරොව්වක් ඇතත්
මේ සිදුරෙන්
දිය බැස යයි දැන්
නිතරම"

යාමට නියමිත තැනක් ඇතත් සිදුරකින් දිය ගලා යයි. මේ අපගේ අධ්‍යාත්මය ගැන කරන ප්‍රකාශයක් කියල මට හිතෙන්නෙ. ඒ වගේම නියම තැනින් ගලා යන එකේ තියෙන කිසි ගතියක් නැති කම ගැනත් කරන ප්‍රකාශයක්. සංස්කෘතික බැමි කඩා ගෙන යන ලිබරල් සිතුවිලි ගැන කරන ප්‍රකාශයක්. තහනම් කියල කියද්දිත් ඒවම කරන අය ගැන කතාවක්. එහෙම නේද?

"පර්චස් අටක ඉඩමක
මහා විශ්වය එලා ගත්
මිතුරිය
මට දුරද
මල් පිපෙන ඔබේ හදවත"

මුලු කවියම කියවන වඩා මේ කවි කෑල්ල පිරිපුන් කවියක්. විස්තර කරන්න අමාරු ප්‍රකාශයක්. නිකං හිතින් හය්යෙන් කියවන්න. කවියෙ පද කඩල තියෙන හැටි. අපි හැමෝම අපේ විශ්වය පර්චරස් අටක හිර කරන හැටි. ඒකෙ මල් හිටවන හැටි. එහෙත් හදවත. එහි මල් පිපෙන හැටි. පර්චස් අටකට සීමා නොවන හැටි. 

"ඉවුරේ සිටිමි
නොබැස දියට
අසමින් දිය රැළි
ඉවුරු තෙරපන හඬ"

ඔහු කියන  මේ අදහස මීට පෙර මා අසා ඇතැයි මට මතක නැහැ. ඒ තරම් වෙනස් අලුත් අදහසක් මේක. දිය රැලි ඉවුරු තෙරපනවද? සිඹිනවද? තෙරපිමින් හඬ නඟන්නේ ඇයි? ඉවුරු හා හාද වෙන බවද? සිතුවිලි රැලි මනසේ තෙරපෙමින් වද දෙන බවද? අවකාශයක අපට සිතන්නට ඉඩ හරින මේ කුඩා කොටස් මහා ආලෝකයක් ගෙන එනවා.

"උණ පඳුර
මා සමග
ගැඹුරු පිළිසඳරක"

මේත් එවගේ ගැඹුරු කෙටි කවියක්. ස්වබාදහමත් අප අතරත් ඇතිවන නොනිමෙන සුහද හා දුහද කතා බහ ගැන කවියා පවසන ආකාරය. එය නැවත නැවතත් අර්ථ උපදවන ප්‍රකාශයක්. 

මේ වගේ කෙටි කවිවලින් පිරුනු මේ කෘතිය කියවන හැම විටම නැවත නැවත අලුත් අලුත් අරුත් ඇතිකරන ගුනයක් සහිතයි. කවියක් කියවන විට එය තේරුනත් ඒ ගැන ලියන්න ගියහම අපව ගොලු කරනවනම් ඒ කවි පුදුම කවි. ඒවා ලස්සනයි. හැබැයි අරුත් කිව නොහැකි තරම් ගැඹුරුයි. සිහින්. එබඳු සිහින් අරුත් බර කවි ගොඩාක් අපට දීම ගැන කවියාට ප්‍රශංසාව හිමි විය යුතුයි. 












 

No comments: