Thursday, August 11, 2022

සියලු දේ කාලය ම අල්ලා ගැනීමක

 



මේ ලියවිල්ල සුනිල් වික්‍රමසිංහ අප සුහදවතාගේ ‘සියලු දේ කාලය ම අල්ලා ගැනීමක’ කියවමින් ලියන පොඩි විමසුමක්. මම කියවන පොතක් ගැන පොඩි හෝ සඳහනක් බ්ලොගයේ පල කිරීම මට ඇති නරක පුරුද්දක්. මේ නමම මට මහත් කුතුහලයක්. කාලය යනුවෙන් ඇත්තටම නැති දෙයක් ඇති දෙයක් බවට අපි පත් කර ගෙන. කාලය යැයි අල්ලා ගැනීමම වරදක් නො වේද? මේ අල්ලා ගැනීම් හා අත්හැර යාම් අතර ඇති අවකාශය කාලයද? සුනිල් පිදුමේ දී අම්මාම සිහිපත් කරමින් පවසන්නේ එයම යැයි මම සිතනවා.

 

“ඇය

මහපොළව සේ කම්පා විඳ

අපෙන් නික්ම ගියා ය.

සුළඟ සේ

වැස්ස සේ

සඳ-හිරු එළිය සේ

ළඟට නොආවත්

හුස්ම අකුරු වී සිටින අම්මාට.....”

 

කුස තුල සිටියදී අපි ගත්තේ ඇයගේ හුස්ම. තනිව හුස්ම ගත්තද කලක් පෙරා ඇවිත් ඇය ජීවිත දෙකකට හුස්මද ආහාරද ගත් බව ඔහු සිහියට නඟයි. ඇයගේ වෙන්ව යාම ජිවීතය හා මවගේ ජිවිතය අතර අවකාශය කාලයම අල්ලා ගැනීමක් ද? කතුවරයාම කියන පරිදි කාලය හුදු මවාපෑමක්ම නො වේද?

“එනිසා කුමන හේතුවක් මත මෙම කවි පොත ඔබ අතට පත්වුවහොත් සියලු මායාමය අල්ලාගැනීම්වල සත්‍යය සොයන්නට හේතු වන යමක් ග්‍රහණය කරගන්නට හේතු වේවායි පතමි.”

 

මේ පොත මට ලැබුන හේතුව සුනිලුත් මාත් එක සමාන අවකාශයක සිටීමයි. එයට කාලයේ සම්බන්ධයක් නැහැ.

‘සිහින සහ අක්කා’ සුහදවතාගෙ කවි කතාවල වේදනාත්මක ප්‍රකාශයක්. ඇය දස වයසේදීම ගොස්. හුස්ම කුරුල්ලන් සේ පියඹා අතැර. ඒ අක්කා කවර තරමේ අක්කෙක්ද? ඇය නියං කාලයට වැව් පොකුනු පත්ලටම  ගොස් මියෙන කොරලි පැටවුන් රැකියක්. ඒත් ඈ යන්න ගිහින්. මේ කවිය කියවන්න. ඒක වෙනම අරගෙන කෑල්ලකින් පෙන්නන්න පුලුවන් වේදනාත්මක ප්‍රකාශයක් නෙමේ.

‘ලොකුසාදු මම යනව’ කවිය මේ ශෝක ගී මාලාවේ හැකිලුමක්. මේ කවි පොතම මානවයා මානවයෙකු නිසාම විඳින විඳවිම්වල කැඩපතක්. මේ විස්තර කල නොහැකි දාර්ශනික එලඹුම්.

“ලිහිණු අරලිය මල් පෙති කෝටියක

ලියල එවනව මම

මේ සංසාර සූත්‍රයේ තනිකම

තියෙනවනම්

නිවන් ගිය අය ඉන්න ලෝකයක්

ඒ මල්  පෙති එහෙට එන කොට

හිස අතගාලා

මට සමාව දෙන බව

දන්නවා මම ලොකු සාදු”

 

කතුවරයා එකින්නෙක පෙලගසන මේ කව් පන්ති ජිවිතය විනිවිදන පිහිතුඩවල් වගේ. හද රිදුම් දෙන ඒ රිදුම් මැද කීරි ගැහෙන සත්‍ය. තේරුම් ගන්න අකමැති ඇත්ත. ඒකට වේදනාව පීඩාව කියනවට වඩා මම කැමති සිදුවීම් හැටියට ඒව වෙනම තැනක තියන්න. සතුට හෝ වේදනාව අපි ඒවට දීපු නම් නොවෙයිද? “සුසානයක මුරකරුට” කවි පන්තියේ ඔහු තවත් එක් සිදුවීමකට දාර්ශනික ප්‍රවේශයන් සපයන්නෙ මෙහෙමයි.

“මේ සංසාර ඇට සැකිල්ලම

පිළුණු සුසානයක් බව කයන

ඉස්සර දවසක මුණ ගැසී තිබුණා නම් ඔබ

මටත් වැටහෙන්න තිබුණා

ජීවිත සුසානයෙත් සොහොන් මල් පී දෙන බව...”

ඇත්තටම මේ පිපෙන මල් සුසානයක පිපෙපන සොහොන් මල් නෙමෙයිද? සුසානයේ පිපෙන සොහොන් මල් සිඹිමි. පර යන සැටි බලමි. මල් කැකුළු පිපෙයි. කොතරම් ලස්සනද? කවිය. ඔබ මට සොහොන් මලක්. එය අප සුසානයන් සරසන බව සිතා තුටු වෙම්.

No comments: