Monday, June 6, 2022

රළ නො නගන මිනිස්සු ගැන කියන 'රළ නගන මිනිස්සු'


 අරගලය කියන්නෙ හැම වෙලාවෙම මහ පාරට ඇවිත් කෑ ගහන එකම නෙමෙයි. ඒක කෙනාගෙන් කෙනාට වෙනස්. හැබැයි මේ හැම දේම කරන උස් රැළි නගන මිනිස්සු නැතුවාම නෙමෙයි. ලියනගේ අමරකීර්ති ඒ වගේ ලේඛකයෙක්. ගෙයින් ගෙට ගිහින් දේශපාලනිකව මිනිසුන් දැනුම්වත් කරන මේ ලේඛකයා ලියන, පරිවර්තනය කරන පොත් සියල්ලමත් අරගලයේම නො නැමෙන කොන්ද ශක්තිමත් කරන ඒවා. ජෙරොම් ලෝරන්ස් සහ රොබර්ට් ඊ. ලී. යන දෙදෙනා ලියපු Inherit The Wind' කෘතිය 'රළනගනමිනිස්සු' හැටියට තනි සමාස පදයක් කොට ඔහු පරිවර්තනය කරනවා. ඒක ඔබ කියවිය යුතුම පොතක්. ආගමික සාමාන්‍ය පොදු ජනයා ජීවිතය සංස්කෘතිය ගැන ප්‍රශ්න නොකරන ඒවා පවතින හා පැවතිය යුතු දේවල් හැටියට පිලිගන්න හැටි මේ කෘතිය හරහා දැඩිව ප්‍රස්න කරනවා. කර්කශ විවේචනයට පාත්‍ර කරනවා.

මේ කෘතිය තමා පරිවර්තනය කරන්නේ ඇයිද යන්න ගැන කරන පෙරවදන, ඔබට නාට්‍ය කියවන්න කම්මැලි නම්, කියවන්න යැයි මම යෝජනා කරනවා. තම සිසුන්ට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී නාට්‍ය ගැන කරන පාඩම්වලට මේ කෘතිය බොහෝ සෙයින් යොදා ගන්නේ ඇයිදැයි ඔහු කියන ආකාරය අපව නැවත නැවත කෙනිත්තීමක්. 

"එහිදී මා නිතර මතු කරන එක තේමාවක් වේ. ඒ නම් නාට්‍ය කලාව යනු ලෝකය පවතින ආකාරය ප්‍රශ්න කිරීමේ මෙවලමක්ය යන්නය...."

1925දී පැවති වඳුරු නඩුව (Monkey Trials) නම් සත්‍ය නඩුව හා සම්බන්ධව මෙම නාට්‍ය ලියැවෙයි. චාල්ස් ඩාවින්ගේ පරිනාමවාදය පාසක ඉගැන්වීමට දැක්වුනු ආගමික විරෝදතාව හා මහජන කැලඹීම මෙහිදී සාකච්ඡා කරයි. එය අපට එදාට වඩා අද නඩු ගැනද එහි තීරන ගැනද තේරුම් ගැනීමට පසුබිමක් ගෙනෙයි. 

අපි ලෝකය පවතින ආකාරය ප්‍රස්න කල යුත්තේ ඇයි?

මෙහිදී ලෝකය යනු ස්වභාව දහම නොවෙයි. අපි අපිම ගොඩ නගාගත් දැනුමයි. සංස්කෘතියයි. දැනුම නව දැනුමකින්  එහි ස්වභාවය දිනෙන් දින වෙනස් වෙයි. අලුත් වෙයි. ප්‍රස්න නොකරන්නේ නම් දැනුමද ආගමික කෘති සේම දේව වාක්‍ය වෙයි. ලෝකය රොටියක් ලෙස හෝ ආප්පයක් ලෙස අප නොපිලි ගන්නේ විද්‍යාත්මක දැනුම හේතුවෙන්. 

මෙම නාට්‍ය එක අතකට සංස්කෘතියද සංස්කෘති සකස් කොට එහිම තාවර වන ලගින ගොම තැබ්බවල් වැනි මිනිස්සුන්ට එල්ල කරන පා පහරක්. පරිනාමවාදය ගැන වචනයක් කියවා නැති, මෙහි සඳහන් මැතිව් හැරිසන් බ්‍රේඩි එය ඉගැන්නූ ගුරුවරයාට දඬුවම් දීම අත්‍යවශ්‍යම දෙයක් බවට තර්ක කිරීම අතිශය උපහාසයක්. හෙන්රි ඩ්‍රමන්ඩ් නඩුවට ගෙනෙන එකඳු සාකෂිකාරයෙක්වත් උසාවිය පිලිගන්නේ නැහැ. පසුව බ්‍රෙඩීම ප්‍රස්න කරන් ඩ්‍රමන්ඩ් සත්‍යයෙහි බහුවිධභාවය (අමරකීර්ති. පෙරවදන) නාට්‍යයෙහිදී පවසන්නේ,

"ඔබතුමා හිතන දේවල් ගැන ඔබතුමා හිතනවද? දෙවියන් වහනේසේ මවපු පලවෙනි දවස පැව විසිපහක් වෙන්න බැරිද? ඒක මනින්න ක්‍රමයක් ඇත්තෙම නෑ. කියන්න විදියක් ඇත්තෙම නෑ.  ඒ දවස පැය විසිපහක් වෙන්න බැරිද?"

ඩ්‍රමන්ඩ් මේ ප්‍රස්න කරන්නේ සාම්ප්‍රදායික මිනිසුන්ගේ. දේවවාක්‍ය ලෙස තම වටපිටාව වෙනස් නොකර ප්‍රස්න නොකර දෛවයට බාරදී සුසුම් හෙලන මිනිස්සුන්ගෙන්. ඒ ගැන හිතන නොසැලකිලිමත් තක්කඩින්ගෙන්. එවන් අයගෙන් මේ ලොව බේරාගත යුතු නොවෙයිද?

"බ්‍රෙඩී - මම කියන්නම් එයා මොකක්ද කරන්න හදන්නෙ කියල. එයාට ඕන ශුද්ධ වූ බයිබලය ගැන, දෙවියන් වහන්සේ ගැන හැමෝගෙම භක්තිය විනාස කරන්න. ඒක තමුන්නාන්සෙ දන්නව. 

ඩ්‍රමන්ඩ්- ඔබතුමා දන්නව ඒක ඇත්ත නෙමේ කියල. මම උත්සහ කරන්නෙ තමන්ගෙම මතයට ඇලිල ඉන්න තමුන්නාන්සෙල වෙගේ ආධානග්‍රාහීන්, ආඥානයන් ඇමරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය පාලනය කරන එක නවත්තන්න! ඒක තමුන්නාන්සෙ දන්නව!"

අවාසනාවට දකුනු ආසියාවෙ තත්වයත් මේකමයි. ඔබ පවතින සුජාත ආන්ඩුව, සුජාත සිංහලයන් ගැන ප්‍රස්න කරන්න පටන් ගන්නකොටම අවජාතක වෙනව. නිරාගමික වෙනව. ජෙප්පෙක් වෙනවා. කාලකන්නි රටට ආදරේ නැති පරයෙක් වෙනවා. ඉතිහාසය දන්නෙ නැති බුද්ධාගමට කතෝලික මුස්ලිම් ආගමට විරුද්ධ නිරාගමිකයෙක් වෙනවා. 

ඒත් අපට රැලි නොනගා මල මුහුදක් විය හැකිද? බැහැ. අපි මේ ඒකාකාරී වටපිටාව, දැනුම, අධ්‍යාපනය උගන්නන ගුරුවරු, නීතිය, නඩු තීන්දු දූෂිත අධිකරනය ප්‍රස්න කරමු. යුක්ති සම්පන්න හෙටක් වෙනුවෙන්. ඔබ ඔවුන් (සුජාත දේශපාලකයන් හා ඔවුන් තනන දේශපාලන ආගමිකයින්) කියන ආකාරයේ පරයෙක්, අවලමෙක් වීම භාග්‍යයක් කොට හිතන්න. එවිට ඔබ පාපයෙන් මිදෙනු ඇත.

(අමර කීර්ති ලේඛකයා භාවිත කරන රචනා ශෛලිය සිංහල ලේඛකයන් නැවත නැවත පරිස්සමෙන් කියවිය යුතු. එය එතරම් මනස්කාන්ත භාෂා භාවිතයක්. අපට කෙතරම් න්‍යායාත්මක රචනයක් වුවත් ආසාවෙන් කියවිය හැකි ශෛලියක් එය. මේ කැපකිරීම්වලට ඔහුට ආදරය ශක්තිය දිය යුතු.)


No comments: