Monday, October 26, 2015

කුස්සි- සිංහල

සරච්චන්ද්‍ර එදිරිවීර ලියපු පිං ඇති සරසවි වරමක් දෙන්නේ පොත කියවන්න කියවන්න ආස හිතෙන පොතක්. ඒක එතුමාගේ පුද්ගලික ජීවිතය විතරක් නෙමෙයි. නිදහස ලබාගන්න ආසන්න හා ලබාගෙන ආසන්න කාල පරාසය තුල ලාංකික ජනවිඥානය සොයා යාමටත් උදව් කරනව.


ඒ කාලෙ සිංහල භාශාවට හිමිවෙලා තිබුනු තැන ගැන සරච්චන්ද්‍රගේ අදහස්වල අධිරාජ්‍යවිරෝදී ආකල්ප ගෑවි නොගෑවී තියෙනව. සරච්චන්ද්‍ර‍ගේ ශිශ්‍ය අවදිය ගැන කතා කරන තැන සාන්ත තෝමස් විද්‍යාලයේ සිංහල ගුරුවරුන්ට හිමිව තිබු තැන තමයි මේ.

"මේ හැම පාසැලක ම සිංහල විෂයක් විය. එහෙත් මට මතක ඇති කාලයේ සිට- විශේශයෙන් සාන්ත තෝමස් හා ඇලොවීසියස් පාසැල් දෙකේ-සිංහල පැය ළමයින් විසින් සලකනු ලැබූවේ විනෝද පැයක් ලෙසය. සිංහල උගන්වන ගුරුවරයාට නොයෙක් අයුරේ විහිලු තහලු හා කෙණෙහිලි කරමින් ළමයි මහත් ප්‍රීතියක් ලබති. සිංහල ගුරුවරයා පැමිණි වේලේ සිට පංතිකාමරය තුළ මහා ගාල ගෝට්ටියක් පවතී. ළමයි කෑ කෝ ගසති. ඔබ මොබ සක්මන් කරති. උනුන් හා සන්ඩු සරුවල් කර ගනිති. සිවුරුම් බාති. සින්දු කියති. ඇතැම්විට රතිඤ්ඤා වෙඩි ආදියත් පත්තු කරති. ඒ හැම ඝෝෂාවකටම ඉහළින් ගුරුවරයාගේ කටහඩ ඇසේ.

මේ තත්වය විදුහල්පතිවරු ද නොදන්නාහු නොවෙති. එහෙත් ඔවුන්ද එයින් විනෝද වන්නා සේය. සිංහල ගුරුවරයා සලකනු ලැබූවෙ ඉංග්‍රිසි කතා කළ සෙසු ගුරුවරුන්ට වඩා පහත් පංතියක කෙනෙක් සේය. සිංහල ගුරුවරයා හදුන්වනු ලැබුවෙ 'සිංහලීස් පන්ඩිට්' කයා ය. 'පන්ඩිට්' යන ඉංග්‍රීසි වචනය 'පණ්ඩිත' යන්නෙන් බිදුනක් වුවද එහි අවමානාත්මක ව්‍යංගාර්ථයක්  තිබේ. 'පන්ඩිට්' යනුවෙන් හදුන්වන්නේ යල් පැනපු ඥාන විෂයන්ගෙන්ද නිෂ්ප්‍රයෝජන දෙයින්ද හිස පුරවාගත් කෙනෙකු ය.

සිංහල ගුරුවරයා ශිෂ්‍යයන්ගේ හාස්‍යයට ලක් වූයේ ඔහුගේ ඉංග්‍රීසි උච්චාරණයේ දක්නට තිබුණු වෙනස නිසාය. කොළඹ මහනුවර ගාල්ල වැනි පළාත්වල ඉහළ පෙළේ මිෂනාරි පාසැල්වල ශිශ්‍යයින්ට පුහුණු කරන ලද ඉංග්‍රීසි උච්චාරණය ගම්බද ළමයින‍්ගේ උච්චාරණයට වඩා වෙනස් විය. පළමු කී විදියට ඉංග්‍රීසි කතා කරන අය 'ගොඩයා' ලෙස හංවඩු ගසනු ලැබූහ. ඔවුන්ගේ උච්චාරණය 'කොළඹ ඉංග්‍රීසි' කතා කරන අයගේ පරිහාසයට භාජනය විය". *(එදිරිවීර සරච්චන්ද්‍ර- පිං ඇති සරසවි වරමක් දෙන්නේ-31)

මිනිසුන් මිනිසුන් හා වෙන්ව සිටීමට හෝ අදිපතිවාදි දෘශ්ටි සමාජගත කිරීමට ඉතාම සුක්ශ්ම වෙයි. ඒවා විටෙක අවිඥානක ස්වභාවයක් වෙයි. භාශාව ද මේ බෙදුම් රේකාව සදහා භාවිත වීම මේ සාදක මත පෙන්වා දිය හැකියි. සිංහල භාශාව ‍කුස්සියේ භාශාව ලෙස  ඉහළ මැදපන්තියෙ අය එවක සිතු බව එතුමාම කියන්නෙ මෙහෙමයි.
"..... සිංහල පාඩම ඉගෙන නොගෙන පංතියට ආ ළමයෙකුට මම වරක් තරවටු කළෙමි. ඔහුට මෙම දඩුවම් දී පාඩම ඉගෙන නොගත්තෙ මන්දැයි ඇසීමි. ඔහු පිළිතුරු වසයෙන් කීවේ 'සර් ඊයෙ අපේ වැඩකාර කොලුව අසනීපෙන් හිටිය හන්ද පාඩම අහගන්න කෙනෙක් හිටියෙ නැ." කියාය.

යටත් විජිත සමයෙහි මෙන් නැවතත් සිංහල කුස්සියේ භාෂාව බවට පත් වීගෙන එන කාලයේ මෙවැනි අත්දැකීම් සැමරීම වැදගත් යයි සිතමි." (එදිරිවීර සරච්චන්ද්‍ර- පිං ඇති සරසවි වරමක් දෙන්නේ-100)

අදටත් මෙබදු භාශාත්මක බෙදීම් සමාජයේ කොතෙකුත් අපට දැකිය හැකියි. සිංහල මිනිසුන් දෙමල භාශාවට හදාගෙන තියෙන උපහාසාත්මක වාගාලාපත් ඒවගේ. දෙමලු වගේ දොඩෝනව. දෙමල්ලු පඩි ගත්ත වගේ. නිදසුන් කිහිපයක්. ඇත්තටම සිංහල දන්නෙ නැති කෙනෙකුට අපේ කතාත් කංකරච්චලයක් ිවෙන්න පුලුවන්. ගුත්තිල කාව්‍යයේ මේක හොදට කියල තියෙනව.

"බසෙකින් නොදන්නා
කියන පුවතට පෙන්නා
නොසතුටුව ඉන්නා
දනන් මෙන් උන් බලා උන්නා."

සාන්ත තෝමස් විද්‍යාලයේ මේ සංස්කෘතිය 'තුප්පහි' සංස්කෘතියක් බව (101) සරච්චන්ද්‍ර ඍජුව පවසයි. 

තම තමන්ගේ කතා විලාසයෙන් කෙනෙක් පහත් කිරීමට ලක් කිරීමේ සිට ජාති වශයෙන් වෙන්කිරීමටත් අරගල ඇති වීමටත් එක්සත් රටවල් බෙදුනු රටවල් වීමටත් තරම් ඉහලට මේ භාශාමය ආකල්ප බලපෑම් කරයි. සිංහල රාජ්‍ය භාශාව වීම වටා ගෙතී ඇත්තේ‍ෙ එබදු ප්‍රවාදයක්. තවත් මෙවැනි අදහසකින් හමුවෙමු.

2 comments:

Anonymous said...

සමන්, ඔබගේ ලිපිය මම අගයමි. ඔබ බස පිළිබඳ රාජ්‍ය ආයතනයක ම සේවය කරන බව මෙම වියුණු සටහන් අඩවියෙහි යම් තැනෙක සඳහන් ය. බස පිළිබඳ ලියන ඔබ ඔබගේ බසෙහි සදොස් තැන් ද නිදොස් කරගත මනා ය. බස නැසෙන සැටි ලියන ඔබ ම වියරණ මියර, අක්ෂර වින්‍යාස, පද බෙදුම් ඈ නේක බස් නය නසනයුරු සෝබර ය. ඔබට සාධුතරාභිලාෂයක් ඇත. එය යථාකරණය කරගත හැකි වන්නේ ඔබ ද නිවරද ව බස වහරන්නේ නම් පමණි. බස ගැන සරච්චන්ද්‍රයන් උපුටා දක්වන ඔබට අන්‍යයන් විසින් රනස්ගල්ලේ හිමි උපුටා දක්වනු ලදහොත් නුසුදුසු ය.

පාට පාට හීන (සමන් පෙරමුණ) said...

ස්තුතියි වරද පිලිගන්නවා හැකි සෑම විටම නිවදව ලියන්න උත්සහ කරනවා ඒත් හැකි සෑම විටම වරද වරදා හෝ යමක් කිරීම ලවීම මගේ සතුට වඩාත්ම නිවැරදි දෙයක් පිලිබද විශ්වාසයක් මට නැහැ ඔබට මා ලියන‍ දේ සරලව තේරුම් ගත හැකි නම් එයම මගේ සතුටයි